Lanka Fashion

No 01 Online Fashion Magazine

අපේ රුව වඩවන කෝපි සත්කාර 6ක්.

රසවත් පානයක් වන කෝපිවලින් අපිට හිතාගන්නවත් බැරි තරම් ප්‍රයෝජන ගොඩාක් අපේ සමට ලබාගන්න පුලුවන්. ලොකු මුදලක් වියදම් කරලා එක එක වර්ගවල රූපලාවණ්‍ය නිෂ්පාදන මිලදී ගත්තට සමහර විට ඒවාගෙන් අපිට හොඳ ප්‍රතිඵල ලැබෙන්නෙ නෑ. වියදම් කරපු සල්ලිත් අපරාදේ. ඒ වෙනුවට ගෙදරදී පහසුවෙන් හොයාගන්න පුලුවන් කෝපිවලින් ලස්සන වෙන්න පුලුවන් විදිහ තමයි අපි අද ඔයාලට කියන්නේ.

1.සම වයසට යාම වලක්වයි.

අඹරාගත් කෝපි හෝ වියළි කෝපි කුඩු සමාන ලුණු ප්‍රමාණයක් සමඟ මිශ්‍ර කරන්න. ඒකටම ඔලිව් තෙල් බින්දු කිහිපයක් එක් කරන්න. හුමාලය ඇල්ලූ සම මත මේ ස්ක්‍රබ් එක ආලේප කරලා හෙමින් රවුම් අතට ඉහළට පිරිමදිමින් මසාජ් කරන්න. සතියකට 1-2 වතාවක් මෙය නැවත කරන්න.

2.ඇස් යට ඉදිමීම සුව කරයි.

අඹරාගත් කෝපි ඇට හෝ නැවුම් කෝපි කුඩු තේ හැඳි 1/2, පොල්තෙල් තේ හැඳි 1/2, අඹරාගත් කළු ගම්මිරිස් ස්වල්පයක් හා වතුර බින්දු කිහිපයක් එකට මිශ්‍ර කරන්න. හදාගත් මිශ්‍රණය ඔයාගෙ ඈස්‍ යට ප්‍රදේශයේ ආලේප කරන්න. ආලේපය වියළී ගිය පසු උණුසුම් ජලයෙන් සෝදා හරින්න.

3.වියළි හෝ ඉරිතැලුණු තොල් සුවපත් කරයි.

කෝපි කුඩු තේ හැඳි 1/2 ක් හා මී පැණි තේ හැඳි 1/2 ක් එකට මිශ්‍ර කරන්න. ඔයාගෙ වියළි හෝ ඉරිතැලුණු තොල්වල මේ මිශ්‍රණය ආලේප කරලා තප්පර 30ක් මසාජ් කරන්න. ඉන්පසු තෙත් කපු පුළුන් කැබැල්ලකින් ආලේපය ඉවත් කරන්න.

4.බ්ලැක් හෙඩ්ස් ඉවත් කරයි.

1:1 අනුපාතයකින් වියළි කෝපි කුඩු හෝ සිහින් ව කුඩුකරගත් කෝපි කුඩු තේ හැඳි 2 ක් කිරි සමග මිශ්‍ර කරන්න. හුමාලය ඇල්ලූ සම මත මෙය ආලේප කරලා විනාඩි 2 ක් මසාජ් කරන්න. ඉන්පසු තවත් විනාඩි 10 ක් තියෙන්නට හැරලා උණුසුම් ජලයෙන් සෝදන්න. සතියකට වරක් මෙය නැවත කරන්න.

5.තෙල් සහිත සමට පිළියම් කරයි.

යෝගට් තේ හැඳි 1 ක් සමඟ නැවුම් කෝපි කුඩු මිශ්‍ර කරන්න. මිශ්‍රණය ඔයාගෙ මුහුණට ආලේප කරලා විනාඩි 1-2 ක් මසාජ් කරන්න. ඉන්පසු සිසිල් වතුරෙන් සෝදා ඉවත්කරන්න.

6.අඳුරු සම පැහැපත් කරයි.

කෝපි කුඩු තේ හැඳි 1, ඇඹුල් ක්‍රීම් තේ හැඳි 1, මී පැණි තේ හැඳි 1 ක් හා බිත්තර 1 ක් ගන්න.අමුද්‍රව්‍ය ඔක්කොම හොඳින් කලවම් කරලා මුහුණට ආලේප කරන්න. විනාඩි 15 කට පසු සිසිල් ජලයෙන් සෝදන්න.මේ සත්කාරය සතියකට 1-2 වතාවක් කරන එක හොඳටම ප්‍රමාණවත්.