Lanka Fashion

No 01 Online Fashion Magazine

අපේ සෞඛ්‍ය ගැන හෙළි කරන කන් ආශ්‍රිතව ඇතිවන මෙවැනි වෙනස්කම් නොසළකා හරින්න එපා!

සාමාන්‍යයෙන් නාන විට දින කිහිපයකට වතාවක් වත් කන් පිරිසිදු කිරීම සිදුකරනවා. කනේ එකතු වන ද්‍රව්‍ය අපි හඳුන්වන්නේ කන් කලාදුරු යන නමිනි. මේවා අපද්‍රව්‍ය ලෙස සිතුවත් ඇත්තෙන්ම කලාදුරු කියන්නේ කනේ කන් බෙරය ඇතුලු සංවේදී කොටස් වල ආරක්ෂාව වෙනුවෙන් බාහිර කනේ ග්‍රන්ථි වලින් ශ්‍රාවය කෙරෙන ද්‍රව්‍යයකි. කනේ අභ්‍යන්තරයේ ඇති එවැනි ග්‍රන්ථීන් දෙකකින් නිකුත් වන ශ්‍රාවයන් එකට එක්වී මෙවැනි කලාදුරු සෑදීම සිදුවේ. මේවා කනේ ආරක්ෂාව සඳහා ඇති ආරක්ෂක ආවරණයක් බඳුය. එමෙන්ම කනේ අභ්‍යන්තර සම වියළීම වළක්වමින් තෙතමනය සලසයි. කනේ සම හානිවීම් හා ආසාදන වීම් වලට එරෙහිව ක්‍රියාකරමින් කන නීරෝගීව තබාගැනීමට උපකාරී වන විශේෂ රසායනික ද්‍රව්‍ය පවා මේවායේ අන්තර්ගතයි.මෙය ස්වභාවික ක්‍රියාවලියක්. කන් අග්ගිසට පැමිණි කලාදුරු ඉවත් කිරීම කවුරුත් කරන දෙයක්. එහෙත්, මේවා ඉවත් කිරීමට යාමේදී ඇතැම් අය භාවිතා කරන ඇතැම් අනාරක්ෂිත ක්‍රම නිසා මේවා කන ඇතුලටම තල්ලු වීම නිසා ආසාදන වැනි ගැටලු මතු විය හැකියි වගේම කන තුවාල වීම පවා නොසිතූ ලෙස සිදුවිය හැකියි.කෙසේවෙතත්, කලාදුරු වල පැහැයන් වෙනස් වීම් අපගේ සෞඛ්‍ය ගැන යම් යම් ඉඟි සපයයි. ශරීරයේ ඇති වන වෙනස්කම් ගැන අවධානයෙන් සිටීම ඉතා වැදගත්ය. ඒවායේ වර්ණ අනුව හෙලි වන සෞඛ්‍ය කරුණු මොනවාද කියා දැන් අපි දැනගනිමු.

•අලු පැහැති කන් කලාදුරු

කිසිඳු රෝග ලක්ෂණයක් මතු නොවී ඔබේ කන් කලාදුරු අලු පැහැයකට හැරී තිබීම ගැන ගැටලුවක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. බොහෝ විට ඒවා දූවිලි විය හැකියි. කාලයක් තිස්සේ කන් පිරිසිදු නොකිරීමෙන් මේවා කන් තුළ එකතු වීමට ඉඩ තිබෙයි. කන් නිවැරදි ක්‍රමයක් භාවිතා කර පිරිසිදු කරගන්න. කන් වල මේවා අධිකව පිරී ඇත්නම් වෛද්‍යවරයෙකු වෙත යොමු වී ඒවා නිවැරදිව ඉවත්කරගත හැකි ක්‍රමයක් ගැන උපදෙස් ලබාගන්න.

•ලේ බිඳිති සහිත කන් කලාදුරු

කන් පිරිසිදු කිරීමේදී කලාදුරු සමඟ ලේ කොටස් ද දැකිය හැකි නම් ඉන් බොහෝ දුරට අදහස් වන්නේ කන් බෙරය සිදුරු වී ගොස් ඇති බව විය හැකියි. මෙවැනි තත්වයක් ඇති වී තිබෙන විට කන තුල විවිධ ආසාදනයන් වැනි තත්වයන් වර්ධනය වීමට වැඩි ඉඩකඩක් ඇත. එය ශොත්‍රදාහය (කන ප්‍රදාහයට ලක්වීම) හෙවත් otitis තත්වයක් දක්වා වර්ධනය වීමට ඉඩ ඇති අතර ඔබේ ශ්‍රවණ හැකියාව සම්බන්ධව ගැටලු මතුවිය හැකියි. එබැවින්, මෙවැනි ලක්ෂණ හඳුනාගත් වහාම වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවිම නුවණට හුරුය.

•දුඹුරු පැහැති කන් කලාදුරු

කලාදුරු ඉතා තද වර්ණයකින් සමන්විත වීම සහ වැඩි වශයෙන් නිර්මාණය වී තිබීමෙන් බොහෝ දුරට පෙනී යන්නේ ඔබේ සිරුර දැඩි ආතතීයකින් යුතු කාල සීමාවක් පසුකර ඇති බවයි. සාමකාමී සහ සන්සුන් පරිසරයක ටිකක් විවේකයෙන් ගත කිරීමට උත්සාහ කරන්න! ටික දිනකින් මේ ස්වභාවය දුරු වී ගොස් ඇත්දැයි පරික්ෂා කරන්න. ආතතිය හා සිරුරේ අධික තෙහෙට්‍ටුව නොසළකා හැර සිටීමට සුදුසු තත්වයන් නොවන බවත් ඔබ මතකයේ තබාගත යුතුයි.

•කලු පැහැති කන් කලාදුරු

මෙය සිදුවූයේ එක් වතාවක් පමණයි නම් ඔබට වද වීමට තරම් හේතුවක් නොමැත. ඇතැම් විට ඒ කන් තුළ කුණු දුහුවිලි පිරී තිබීම නිසා විය හැකියි. කෙසේවෙතත්, ඔබට ඔබේ කනේ නිතර නිතර කැසිල්ලක් දැනේ නම්, එය ක්‍රමයෙන් වැඩි වන බව හැඟේ නම් වහාම වෛද්‍යවරයෙකු හමු වීමට කටයුතු කරන්න. ඇතැම් විට කන් කලාදුරු කලු පැහැයට හැරී ඇත්තේ දිලීර ආසාදනයක ඇති වී තිබෙන නිසා විය හැකියි.

•සුදු පැහැති කන් කලාදුරු

කන් කලාදුරු සුදු පැහැයකින් යුක්තවීම මඟින් ඉඟි කරන්නේ ඔබේ සිරුරේ විටමින් සහ ක්ෂුද්‍ර පෝෂක (යකඩ, තඹ වැනි)ඌනතාවන් හටගෙන ඇති බව විය හැකියි. ඔබේ ආහාර වේලට විටමින් සහ ඛනිජ පෝෂක බහුල ආහාර එක්කරගන්න. විශේෂයෙන්ම බෝංචි සහ ඕට්ස් වැනි ආහාර වඩාත් හිතකරයි. නිසි නිර්දේශයක් යටතේ විටමින් පෝෂක ලබාගැනීමත් හොඳ විසඳුමකි.

•දුගඳකින් යුතු කන් කලාඳුරු

කන් කලාඳුරු වල අප්‍රසන්න ගන්ධයක් වහනය වෙයි නම්, බොහෝ විට ඊට හේතුව ඔබේ කන් ආසාදනය වී තිබීමයි.දුගඳට අමතරව කන තුළින් යම් ශබ්දයක් ඇසෙන බවක් හෝ වරින් වර ‘පොප්’ හඬින් වායු බුබුළු පිපිරෙනවාක් මෙන් දැනෙයි නම්, වහාම වෛද්‍යවරයෙකු වෙත යොමුවීමට සැළකිලිමත්වන්න.

•දියරමය ස්වභාවයකින් යුතු කන් කලාදුරු

සාමාන්‍යයෙන් කන් කලාඳුරු ඝන හෝ තලප ස්වභාවයක් ගනියි.කනේ කලාදුරු වල සාන්ද්‍රණය මෑතකදී සිට වෙනස් වි ඇති බව පෙනී යයි නම්, එය කනේ අභ්‍යන්තරය ප්‍රදාහයට (inflammation) ලක් වීමට පටන්ගෙන තිබෙන බව පෙන්නුම් කරන සංඥාවක් ලෙස සැලකිය හැකියි.මෙවැනි ලක්ෂණයක් හඳුනාගැනීමට ඇත්නම් වහාම වෛද්‍යවරයෙකු මුණගැසීමට කටයුතු කරන්න.

•වියළි කන් කලාදුරු

කන් කලාදුරු වල වියළි බව ඇතිවන්නේ බොහෝ දුරට සිරුරේ අඩු මේද (lean fats) පෝෂණ ඌනතාවක් ඇතිවීම නිසා බව පැවසිය හැකියි. තවද එය චර්මදාහය (dermatitis ) නම් තත්වය හෝ වෙනත් සමේ ආසාදන හෝ රෝග තත්වයක් නිසා සම වියළීයාමට පටන්ගෙන තිබීම නිසා ද විය හැකියි.

දිගු වෙලාවක් හෙඩ්ෆෝන් (headphones) පැලඳගෙන සිටීම කන් වලට හානිකරයි කියන්නේ ඇයි?

අද කාලයේ සිංදුවක් අහන්න, වීඩියෝවක් නරඹන්න යද්දී හෙඩ්ෆෝන් එකක් භාවිත නොකරන කෙනෙක් නැති තරම්.අත් නිදහස්ව තබාගන්න මේ ක්‍රමය අපට ප්‍රයෝජනවත් වුණත්, එක දිගට අධික වෙලාවක් හෙඩ්ෆෝන් පැලඳගෙන සිටීම කන් වලට අහිතකර බව වෛද්‍යවරුන් පෙන්වාදෙනවා. කන කියන්නේ අපේ සිරුරේ ඇති සංවේදීම අවයවයක්. අධික ශබ්දය නිසා ද ඔබේ කන් බෙරයට හානිවීමට ඉඩ තිබෙයි.මීට අමතරව අධික වෙලාවක් හෙඩ්ෆෝන් පැලඳගෙන සිටීමෙන් කන් වල සම ආශ්‍රිතව බැක්ටීරියා වර්ධනය ඉහළ යාම සිදුවිය හැකියි. කනේ සම ආශ්‍රිත අපහසුතා (irritation) මතුවීම, වේදනාකාරී කුරුලෑ බිබිලි හටගැනිමට ඉඩ තිබෙයි.කනේ ඇති රෝම කූප අවහිර වීමෙන් මෙවැනි බිබිලි මතුවේ.එම නිසා එක දිගට හෙඩ්ෆෝන් පැලඳීමෙන් වැළකී සිටීමෙන් වළකින්න.ඉයර් බඩ් (earbuds/earphones) පලඳින විට කනට සම්බන්ධ වන කොටස් වල කුණු දුහුවිලි ‍රැඳී තිබේ දැයි පරික්ෂාකාරී වන්න.