Lanka Fashion

No 01 Online Fashion Magazine

ඔබ නොදැනුවත්වම සිදුකරන ඔබේ කෙස් කලඹට හානිකර දේවල් 5ක්.

දිනපතා හිස පීරීමේදී ඔබ සිදුකරන ඇතැම් වැරදි නිසා ඔබේ හිසකෙස් නිකරුණේ ගැලවි යයි. වැරදි පනා භාවිතය නිසා කෙස් ගස් දුර්වල වි යාම සහ පැළීමට-බිඳී යාමට ලක් වීමේ හැකියාව වැඩිය. නිවැරදිව හිසකෙස් පීරීමෙන් කෙස්කලඹ ගැටගැසීයාමෙන් තොරව ආරක්ෂා කරගත හැකි වගේම ඉන් හිසකෙස් වර්ධනය වීම ද වැඩිදියුණු වේ. ඒ අනුව හිසකෙස් පීරීම සුලු කොට තැකිය යුතු දෙයක් නොවන බව ඔබට වැටහිය යුතුයි.

1.ස්නානය කිරීමට පෙර කෙස් කලඹ පීරා නොගැනීම

හිසකෙස් සෝදාගැනීමට පෙර කොණ්ඩය පීරාගෙන සිටීම මඟින් එහි ගැට ඇතිවීම වළක්වාගත හැකියි. ෂැම්පු ගල්වා ස්ක්‍රබ් කිරීම වෙනුවට හිස්කබල මෘදුව සම්බාහනය කරන්න.ස්නානය කල පසු තුවායකින් හිසකෙස් වල ඇති ජලය මිරිකමින් ඉවත්කරන්න. තුවායෙන් හිසකෙස් ඇතිල්ලීම සිදුනොකරන්න.

2.එකම පනාවෙන්/බුරුසුවෙන් තෙත හෝ වියළි කෙස්කලඹ පීරාගැනීම

හිසකෙස් තෙත්ව තිබෙන විට කැඩීයාමට ඇති ප්‍රවණතාව වැඩියි. හොඳ පනාවක්/බුරුසුවක් භාවිතා නොකලොත් කෙස් ගස් පහසුවෙන්ම හානිවීයාමට ඉඩ තිබෙනවා. තෙත හිසකෙස් පීරාගැනීම සඳහා පළලින් යුතුව තත් පිහිටා ඇති බුරුසුවක් භාවිතා කරන්න. ඉන් හිසකෙස් වල ගැට පහසුවෙන්ම ලිහාගැනීමට හැකියි වගේම තෙල් සත්කාරයක් හෝ වෙනත් හිසකෙස් සත්කාරයක් ආලේප කිරීමේදි මුළු කෙස් කලඹටම හොඳින් ඒවා ගල්වාගැනිමට ද හැකියාව ලැබේ.

3.නිතරම හිසකෙස් පීරීම

කෙස් කලඹේ ගැට අධික වී ඇතිවිට ආවේගයෙන් ඒවා ඉවත් කිරීමට උත්සාහ කිරීම නම් එතරම් සුදුසු නැහැ. දිනකට වැඩි වාර ගණනක් හිසකෙස් යලි යලි පීරීමත් යහපත් පුරුද්දක් නොවේ. මෙවැනි පුරුදු නිසා හිසකෙස් ඉක්මනින් දුර්වල වී යන අතර පහසුවෙන් පළුදු වී කැඩීයාමට ලක් වේ. හිසකෙස් පීරීමේදී නිවැරදිව , ප්‍රවේශමින් එය සිදුකරන්න. එමෙන්ම සතියකට වරක්වත් පනා/බුරුසු සෝදා පිරිසිදු කරගන්න. අපිරිසිදු පනා/බුරුසු භාවිතයෙන් සිදුවන්නේ හිස්කබලේ ඇති අපද්‍රව්‍ය, සහ මැරුණු සෛල වැනි දේ හිසකෙස් පුරාවට තැවරි යාමයි. ඉන් ඉස් හොරි වැනි ගැටලු වර්ධනය වීමටත් හැකියි.

4.හිසකෙස් අග කොටස් පමණක් පීරීම

හිසකෙස් අග කොටස් වල ගැට ඉවත්කරගැනීම පමණක් ප්‍රමාණවත් නැත. හිස්කබලේ නිෂ්පාදනය වන පෝෂක ගුණ සහිත තෙල් ශ්‍රාවයන් ඔබේ කොස් කලඹේ පහළ ප්‍රදැශවලටත් ලැබෙන සේ හිසකෙස් මුල් කොටස් ද හොඳින් පීරාගන්න. ඒවා හිසකෙස් වල දිදුලන පෙනුමට මෙන්ම නීරෝගී බවට අත්‍යවශ්‍ය වන අතර කෙස් ගැටගැසීයාම බොහෝ දුරට වළක්වයි. හිසකෙස් මුල කොටස් පීරීමේදී හිස් කබලට මෘදු සම්බාහනයක් ලැබේ. එමඟින් හිස්කබලේ රුධිර ප්‍රවාහය වැඩිදියුණු වි නීරෝගී හිසකෙස් වර්ධනය වීම උත්තේජනය කරවයි.

5.වියළී, ගැටගැසී ගොස් ඇති කොණ්ඩය වැරෙන් පීරීම

ගැටගැසී ගොස් ඇති කොණ්ඩ කොටස් වියළි තිබෙන විට ඒවා පිරාගැනීමට පෙර තෙල් ස්වල්පයක් ආලේප කරන්න. ඉන්පසුව ඇඟිලි තුඬු වලින් ගැට සෙමින් ලිහාගැනීමට උත්සාහ කරන්න. වේගයෙන් හිසකෙස් පීරීම ගැට ලිහා ගැනීමට හොඳම ක්‍රමයක් නම් නොවේ. ඉන් සිදුවන්නේ කෙස්ගස් වලට දැඩිව හානිවීම සහ හිසකෙස් කැඩීයාමට පටන්ගැනීමයි.