Lanka Fashion

No 01 Online Fashion Magazine

සමට ආදරෙයි නම් සෑම උදෑසනකම ඔබ කරන මෙවැනි පුරුදු වලට සමුදෙන්න.

සමට කොතරම් සත්කාර කළත් අප අනුගමනය කරන පුරුදු නිසා අප නොසිතන ලෙසින් අපේ සමට අහිතකර බලපෑම් ඇතිවෙන්නට පුළුවන්. සමහරු උදෑසන අවදි වූ පසු බොහෝ විට අනුගමනය කරන ඇතැම් පුරුදු සමට හානිකර විය හැකි ආකාරයේ ඒවායි. කාලයක් තිස්සේ එම පුරුදු වල යෙදීම නිසා නොදැනුවත්වම ඔබේ සම දැඩි ලෙස හානිවීමට, දුර්වල වීමට ඉඩ තිබිය හැකියි.ඇතැම් පුරුදු අත්හැරගන්න කොතරම් අපහසු වුණත්, අකමැති වුණත් අපේ ශරීර සෞඛ්‍යය ගැන සිතා එවැනි පුරුදු වලින් වැළකී සිටීමට අපට සිදුවෙනවා. ඒ නිසා මතක ඇතිව උදෑසන කාලයේ ඔබ කරන මෙවැනි වැරදි වලින් හැකිතාක් මිදෙන්න උත්සහ කරන්න.

1.කුරුලෑ බිබිලි කැඩීම

උදෑසන අවදි වී කණ්ණාඩියෙන් මුහුණ බලන විට තෙල් පෑදුණු මුහුණේ කුරුලෑ බිබිලි තැනින් තැන ඉලිප්පී තිබෙනවාද? ඇතැම් විට ඒවා දකින විට ඇඟිලි වලින් ඒවා පුපුරුවා හරින්නට ඔබට සිතෙනවා ඇති.මෙය කිසිසේත්ම නොකළ යුතු දෙයක්.කුරුලෑ බිබිලි කැඩීමෙන් ඒවා ආශ්‍රිත සම තුවාල වෙයි. එවිට ඒවා කැලැල් හෝ වලවල් ලෙස සමේ ඉතිරිවෙයි. ඇතැම් විට ප්‍රදාහය වීම (දැවිල්ල සහිතව ඉදිමීම) හෝ අත් වල කුණු දුහුවිලි විෂබීජ ඇත්නම් ඒවා ආසාදනය වීමට පවා වැඩි ඉඩක් තිබෙයි.කුරුලෑවේ සැරව ගැල්වෙන ස්ථාන වල නැවත නැවත කුරුලෑ ඇතිවීමට ඉඩ තිබෙයි.මේ පුරුද්ද ඔබ නොසිතන ආකාරයෙන් ඔබේ සම හානියට ලක්කරවයි. ඔබ කුරුලෑ ගැටලුවෙන් පෙළෙන කෙනෙක් නම්, චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත යොමු වී නිසි ප්‍රතිකාර හා ඖෂධ ලබාගන්න.

2.සන්ක්‍රීම් භාවිත නොකර එළිමහනට යාම

අව්ව ඇති දින වල පමණක් සන්ක්‍රීම් භාවිත කර, අනෙක් දින වල එය මගහැරීම නොකළ යුතු දෙයක්. විශේෂයෙන්ම ඔබ සම සඳහා ලේසර් හෝ වෙනත් කිරණ ප්‍රතිකාර ලබාගෙන තිබෙන කෙනෙක් නම් මේ ගැන වඩාත් සැළකිලිමත් විය යුතුයි. එවැනි අය නිවස තුළ සිටියත් හොඳ සන්ක්‍රීම් එකක් මුහුණට භාවිත කිරීම වඩාත් වැදගත්. කාලයක් තිස්සේ අධික හිරු කිරණට නිරාවරණය වීමෙන් සම පිලිස්සි අඳුරු ලප (dark spots) ඇතිවීම,සම සංවේදීවීම,අධිකව වියළීයාම වැනි ගැටලු වලට අමතරව සමේ පිළිකා වැනි රෝග පවා වර්ධනය වීමට ඉඩ තිබෙයි. සන්ක්‍රිම් මඟින් සමට අහිතකර UV කිරණ සම මත පරාවර්තනය වීම,සමට උරාගැනීම හෝ සම පලුදු කර ඊට හානිකිරීම වළකයි.සමේ ආරක්ෂාව සඳහා SPF අගය වැඩි සන්ක්‍රීම් නිෂ්පාදනයක් භාවිත කරන්න.

3.සමේ මැරුණු සෛල ඉවත්කිරීමේ සත්කාර නිතර නිතර කිරීම

බොහෝ අය උදෑසන අවදි වී මුහුණ සෝදා පිරිසිදු කරගත් පසු මැරුණු සම ඉවත් කිරීම හෙවත් exfoliating සත්කාර සමට සිදුකරනවා. මෙමඟින් සමේ මැරුණු ස්තරය ඉවත් කිරීමට අමතරව සමේ ස්වභාවික තෙල් ස්‍රාවයන් ද ඉවත්කර දමන බව මතක තබාගත යුතුයි. එම නිසා නිතර නිතර හෝ දිනපතා මෙය කිරීම සමට කිසිසේත්ම සුදුසු නැහැ.එසේ සම මත ස්වභාවිකව තෙල් ඇතිවන්නේ සමට අවශ්‍ය තෙතමනය සලසා සම ආරක්ෂා වීමටයි. මෙසේ කිරීමෙන් සමේ නව සෛල වර්ධනයට ද බලපෑම් ඇතිවිය හැකියි.නිතර නිතර සමට රළු සත්කාර කිරීමෙන් සමේ එම ආරක්ෂ ස්තරය ඉවත් වී අධික වියළි ස්වභාවයක් මතුකළ හැකියි. සම අධිකව වියළීමෙන් ‍රැළි වැටීම, එල්ලාවැටීම, සමේ සිදුරු විශාල වීම වැනි වියපත් ලක්ෂණ මතුවීමට ඇති ඉඩකඩ වැඩියි. රළු හා රසායනික ද්‍රව්‍ය බහුල ක්ලෙන්සර් වර්ග භාවිතය අඩුකරන්න. මද උණුසුම් වතුරෙන් මුහුණ සෝදන්න.සමේ තෙත යන්තම් මාත්තු කර, තෙත තිබියදීම හොඳ මොයිෂ්චරයිසර් නිෂ්පාදනයකින් ස්වල්පයක් මුහුණේ ආලේප කරගන්න.

4.අධික වෙලාවක් උණුවතුර ස්නානය කිරීම

උදෑසනින්ම උණු වතුර ස්නානය කිරීමෙන් සිරුරට හොඳ සුවපහසුවක් දැනුණත්, අධික වෙලාවක් උණු වතුර ස්නානය කිරීම ඔබේ සමට හානිකරයි.උණුසුම් වතුරට සමේ ඇති ස්වභාවික තෙල් ස්තරය ඉවත් වී යයි.එසේ සමේ තෙතමනය ඉවත් වී යාම නිසා, සම වියළි,මලානික ස්වභාවයකට පත්විය හැකියි.සමේ ස්වභාවික දීප්තිමත් බව සඳහා මෙම ස්වභාවික තෙල් ස්‍රාවය ඉතා වැදගත්.එම නිසා ඒවා සම්පූර්ණයෙන්ම ඉවත් වී යාම සමට අහිතකරව බලපෑ හැකියි.දිගු කාලයක් තිස්සේ මේ පුරුද්ද අනුගමනය කිරීමෙන් ඔබේ සම අකලට වියපත් වී ඇති බවක් දිස්වීමට ද ඉඩ තිබෙයි. අධික උණුසුමට සමේ සියුම් කේශනාලිකා පවා හානියට ලක්විය හැකියි.සාමාන්‍ය හෝ සීතල වතුරෙන් මුහුණ සේදීම වඩාත් හිතකර විකල්පයක් වන්නේ ඒ නිසයි.

5.අපිරිසිදු මේක්-අප් බුරුසු භාවිතය

කාර්යාලයට හෝ පිටතට යන විට සරල මේක්-අප් එකකින් හැඩවීම අද කාලයේ ජනප්‍රිය විලාසිතාවක්.කෙසේවුවත්. ඔබ දිනපතා භාවිත කරන්නේ බොහෝ කලකින් පිරිසිදු නොකළ බුරුසු හා ස්පොන්ජ් වර්ග නම්, ඉන් ඔබේ සමට ඇතිවිය හැකි හානි බලපෑම් ඉහළ බව මතක තබාගත යුතුයි.මේවා ඇති පෙර භාවිත කළ මේක්-අප් නිෂ්පාදන කොටස්,කුණු දුහුවිලි,සමේ ගැල්වීමේදි එහි තැවරෙන මැරුණු සෛල හා තෙල් ‍රැඳී අපවිත්‍ර වෙයි.එම තෙතමනය සහිත පරිසරය බැක්ටීරියා ඇතුළු විෂබීජ වර්ධනයට වඩාත් හොඳ නිවසක් විය හැකියි.පිරිසිදු නොකර නැවත නැවත භාවිතයේදී එම බැක්ටීරියා සම මත තැවරී, සිදුරු ආසාදනය වීම, බිබිලි මතුවීම, කැසිල්ල, හමයාම වැනි විවිධ අපහසුතා සමේ ඇතිවිය හැකියි. එමනිසා නිතිපතා මේවා පිරිසිදු කර තබාගන්න. මෙවැනි උපකරණ හවුලේ භාවිත නොකරන්න. ඉන් වෛරස හා ආසාදන තත්වයන් පැතිරිය හැකියි.සතියකට වරක් මේවා මෘදු ෂැම්පු ස්වල්පයක් එක්කළ වතුරෙන් සෝදා, හොඳින් වියළා ගන්න.

6.උදෑසන ආහාරය මගහැරීම

දවසේ වැඩිම වැදගත්කමක් ඇති ආහාර වේල වන්නේ උදෑසන ආහාර වේලයි. එම නිසා ඔබ කොතරම් කාර්යබහුල වුවත් කිසිසෙත්ම එය මගනොහැරිය යුතුයි.උදෑසන ආහාර වේල ඔබේ සමේ නීරෝගී බව කෙරෙහි ඉතා වැදගත් ප්‍රතිලාභ ලබාදෙයි.දවස පුරා සිරුරට ජවය ශක්තිය ලබාදී සම අභ්‍යන්තරයෙන්ම පෝෂණය කරයි.උදෑසන ආහාරය මගහැරීමෙන් වඩාත් අප්‍රාණිකබවක්, ශරීර ශක්තිය අඩුකමක් නිතර සිරුරට දැනෙයි.මෙය ඔබේ සමට ද සෘණාත්මකව බලපායි.ඕට්ස් වැනි ආහාර හොඳ ධාන්‍යමය ආහාරයක් වුවත් එකම ආහාරය එක දිගට ගැනීමෙන් වළකින්න. ඉන් ඔබේ සමට අවශ්‍ය වෙනත් අත්‍යවශ්‍ය පෝෂක ආදිය මගහැරෙන්නට පුළුවන්.ඒ වෙනුවට බිත්තර, ධාන්‍ය වර්ග, එළවළු, පලතුරු වැනි දෑද ආහාරයට ගන්න.

7.සමට සත්කාර කිරීමේදී හොඳ ක්‍රමයක් අනුගමනය නොකිරීම

ඔබ සිටින්නේ කුමන වයසක වුවත් සමට පිරිසිදුව තබාගනිමින් ඊට නිසි සත්කාර ලබාදීම ඉතා වැදගත් දෙයක් වෙනවා.විශේෂයෙන්ම මින් ඔබේ සමේ සවිමත් බව හා නීරෝගි බව සු‍රැකෙනවා. හොඳින් ජලය පානය කිරීමත් සමට සත්කාර කිරීමේදී ඔබ අනිවාර්යෙන්ම අනුගමනය කළ යුතු හොඳ පුරුද්දක්.අඩුවෙන් ජලය පානය කිරීමෙන් සමේ මෘදු මොළොක් බව අඩු වී , වියළී සම ‍රැළි වැටීමට පටන්ගත හැකියි. දවල් වන තුරු මුහුණ නොසෝදා සිටීමෙන් වළකින්න.සම පිරිසිදුව තබාගන්න.නිසි ප්‍රමිතියකින් සැකසූ, ඔබේ සමට ගැළපෙන ක්‍රීම්, ස්ක්‍රබ්, මාස්ක්,ක්ලෙන්සර්,ටෝනර් සත්කාර වර්ග භාවිත කරන්න.

8.අධිකව කෝපි පානය කිරීම

ගොඩක් දෙනා දවස ආරම්භ කරන්නේ උණුසුම් කෝපි කෝප්පයක් පානය කිරීමෙනුයි.මින් සිරුරට හොඳ ප්‍රබෝධයක් ලැබෙයි. කෙසේවෙතත් ඔබ ඔබේ සම ගැන සැළකිලිමත් වෙනවා නම්, අධික කෝපි පානය සමට අහිතකර විය හැකි බව අමතක නොකළ යුතුයි.කෝපි වල සිරුර හා සම විජලනයට ලක්වීමට හේතුවිය හැකි කැෆේන් බහුලයි. ඒවා අධිකව ශරීරගත වීම කිසිසේත්ම සෞඛ්‍යාරක්ෂිත තත්වයක් නොවෙයි. කිසිඳු ආහාරයක් නොගෙන හිස්බඩ කෝපි පානය කිරීමත් සුදුසු නැති බව අධ්‍යයන මඟින් පෙන්වාදෙනවා. කැෆේන් යනු මූත්‍රාවර්ධක ගුණ ඇති පානයක් නිසා සිරුරේ ජලය වැඩි වැඩියෙන් ඉවත්ව යාමට කෝපි පානය හේතුවිය හැකියි.ඔබ දිනකදී කෝපි ,තේ වැනි පාන වර්ග කිහිපවරක් ගන්නවා නම් , ඒ සමානව ජලය පානය කරන්න උත්සහ කරන්න.මින් සිරුරේ සජලතාව ‍රැකගන්න ඔබට හැකිවේවි.