Lanka Fashion

No 01 Online Fashion Magazine

සමේ මතුවී ඇති අඳුරු ලප කැලැල් වලට ස්වභාවික සත්කාර 11ක්.

නිකැලැල් පැහැපත් සමක් පවත්වාගන්න කොයිතරම් ආස වුණත් ඊට බාධා කරමින් සමේ අඳුරු ලප කැලැල් (dark spots) මතුවීම බොහෝ දෙනෙක් මුහුණපාන සම අවලස්සන කරන ගැටලුවක් වෙලා. අධික ලෙස හිරු කිරණය නිරාවරණය වී සම හානිවීමේ බලපෑමින් බොහෝ විට මේ ගැටලුව හටගනියි.සමට හොඳින් සත්කාර ප්‍රතිකාර කිරීම හරහා සමේ ඇතිවන අඳුරු ලප කැලැල් ඉවත්කරගැනීම වඩාත් පහසුවෙයි.මේ සඳහා ඔබේ මුළුතැන්ගෙයි ඇති ඇතැම් අමුද්‍රව්‍ය වර්ග ඉතා ඉහළ මට්ටමේ ප්‍රතිඵල ලබාදෙන බව අධ්‍යයන මඟින් පවා පෙන්වාදී තිබෙනවා.ඔබේ සුන්දරත්වයට හානි කරමින් සමේ හටගෙන ඇති අඳුරු කැලැල් දුරුකරගැනීමට ප්‍රයෝජනවත් අපූරු පිළියම් ක්‍රම කිහිපයක් ගැනයි අද අප ඔබව දැනුවත් කරන්නේ.

1.ග්‍රීන් ටී සාරය

ග්‍රීන් ටී හෙවත් හරිත තේ කියන්නේ බර අඩුකරගැනීමට වගේම හිසකෙස් සහ සමට ද ඉහළ මට්ටමේ ප්‍රතිලාභ දෙන,කවුරුත් ප්‍රිය කරන පානයක්. සමේ ඇති අඳුරු කැලැල් දුරුකරගැනීමට ද ග්‍රීන් ටී සාරය ප්‍රයෝජනවත්. ස්වභාවික ක්‍රමයක් නිසා මේ සත්කාරයෙන් හොඳ ප්‍රතිඵල ලැබීමට සති කිහිපයක් හෝ මාසයක් පමණ යම් කාලයක් ගත වන බව මතකතබාගත යුතුයි.එම නිසා ඉවසීමෙන් මේ පිළියම අනුගමනය කරන්න. සකසාගත් ග්‍රීන් ටී කෝප්පයක් නිවෙන්නට තබා, සමේ ලප කැලැල් ඇති තැන් වල සෘජුව ආලේප කරන්න. නැතිනම් භාවිතා කළ ග්‍රීන් ටී බෑග් එම තැන් වල ආලේප කරන්න.ග්‍රීන් ටී සාරය මේ ආකාරයෙන් දිනකට දෙවරක් පමණ සමේ ගල්වන්න.

2.කහට තේ

කහට තේ කියන්නේත් සමට හොඳ ප්‍රතිඵල ලබාදෙන අපූරු පානයක්. සකසාගත් කහට තේ හොඳින් නිවෙන්නට තබා, ලප කැලැල් ඇති තැන් වල ආලේප කරන්න.මින් ලප කැලැල් කැපී පෙනෙන ස්වභාවය හොඳින් අඩු වී යන බව අධ්‍යයන පෙන්වාදෙයි.දිනකට දෙවරක් බැගින්, සතියකට දින 6 ක් පමණ මාසයක් මෙම ක්‍රමය අනුගමනය කිරීමෙන් සමට හොඳ ප්‍රතිඵලයක් ලබාගත හැකිවේවි.

3.ඕකිඩ් සාරය

ඕකිඩ් මල් වල සාරය ලප කැලැල් දුරුකරන හොඳ ප්‍රතිකාරයක් බව අධ්‍යයන වල සඳහන්.පිග්මන්ටේෂන් තත්වයන් දුරුකිරීමට විටමින් C පෝෂක වල ක්‍රියාකාරීත්වයට සමාන ක්‍රියාකාරීත්වයක් මේවායේ දකින්නට ලැබෙන බව පෙන්වාදෙනවා.ඕකිඩ් සාරය අඳුරු කැලැල් ඇති තැන් වල ආලේප කිරිමෙන් කැලැල් වල විශාලත්වය හා පැහැයේ කැපී පෙනෙන අඩුවීමක් දැකිය හැකි බව ද සඳහන්.ඕකිඩ් සාරය එක්කර සැකසූ නිෂ්පාදන වෙළඳපොලේ තිබෙයි.

4.අර්තාපල්

අර්තාපල් සමේ අඳුරු කැලැල් දුරුකරවයි. පොතු ඉවත්කළ අර්තාපල් ගෙඩිය පෙති වලට කපාගන්න. මේවා අඳුරු කැලැල් ඇති තැන් වල මිනිත්තු කිහිපයක් තබාගෙන ඉන්න.අනතුරුව මද උණුසුම් වතුරෙන් සම සෝදා පිරිසිදු කරගන්න.ෆේස් මාස්ක් එකක් ලෙස භාවිත කිරීමට, අර්තාපල් ගෙඩියක් ග්‍රේට් කර, එයට මී පැණි හැඳි 1ක් මිශ්‍ර කර, කැලැල් ඇති තැන් වල ආලේප කරන්න.මිනිත්තු 15ක් පමණ තබා සාමාන්‍ය වතුරෙන් සෝදා ඉවත් කරන්න.

5.එළකිරි

එළකිරි වල ඇති ලැක්ටික් අම්ල සම පෝෂණය කර, එය අලුත්වැඩියා වීමට සලස්වමින් සමේ අඳුරු කැලැල් දුරුකරයි.කපු පුළුල් කැබල්ලක් එළකිරි වල පොඟවමින් සමේ අඳුරු කැලැල් ඇති තැන් වල ආලේප කරන්න.ලප කැලැල් දුරුවන තුරුම දිනකට දෙවරක් බැගින් සමේ එළකිරි ගල්වන්න. තවත් ක්‍රමයක් ලෙස, එළකිරි සහ මී පැණි මිශ්‍ර කර, සමේ ගල්වා, මිනිත්තු 10ක් පමණ තැබූ පසු සෝදා ඉවත්කරගන්න.

6.පැපොල්

පැපොල් පෝෂණ ගුණයෙන් අනූන රසවත් පලතුරක්. ඊට අමතරව සම නීරෝගී කිරීමට ක්‍රියාකරන අපූරු ගුණාංග ‍රැසක් පැපොල් වල අඩංගුයි.පැපොල් වල අඩංගු පැපේන් නම් එන්සයිමය සමේ පැහැය ඒකාකාරී කරවමින්, අඳුරු ලප කැලැල් දුරු කරදමයි.ඉදුණු පැපොල් කැබලි කිහිපයක් හොඳින් පොඩි කරගන්න. එම තලපය සමේ කැලැල් ඇති තැන් වල ගල්වන්න.මිනිත්තු 20ක් පමණ තබා, සෝදා හරින්න. මෙම සත්කාරය මඟින් සමේ මැරුණු සෛල ද හොඳින් ඉවත්කර සමට නැවුම් හා පිරිසිදු බවක් ලබාදෙයි. දණහිස් හා වැළමිට අඳුරු බව දුරුකරගැනීමට ද මේ සත්කාරය ඉතා සුදුසුයි. වැඩි ප්‍රතිලාභයක් ලබාගැනීමට පැපොල් වලට දෙහි යුෂ බිංදු කිහිපයක් ද එක්කරගන්න.

7.රතු පරිප්පු

රතු පරිප්පු සමේ අඳුරු ලප දුරුකරවන මාස්ක් සත්කාරයක් ලෙස භාවිත කළ හැකියි.ඇස් වටා අඳුරුබව දුරුකරගැනීමට ද ප්‍රයෝජනවත්ය.රතු පරිප්පු වල ප්‍රතිඔක්සිකාරක බහුල නිසා සමට ඉතා ඉහළ මට්ටමේ ප්‍රතිඵල ලබාදෙයි.‍රැයක් පුරා පරිප්පු මේස හැඳි 2ක් පමණ වතුරේ පෙ‍ඟෙන්නට තබන්න.පසුදා, බ්ලෙන්ඩරයකට දමා පරිප්පු හොඳින් අඹරාගන්න.මෙම පේස්ට් එක සමේ අඳුරු ලප ඇති තැන් වල ගල්වන්න. මිනිත්තු 20ක් පමණ තබා, සීතල වතුරෙන් සෝදා ඉවත්කරන්න.

8.ඇපල් සයිඩර් විනාකිරි

ඇපල් සාරයෙන් සකසන මෙම විනාකිරි වලින් සමට, හිසකෙස් වලට වගේම නියපොතු වලටත් බොහෝ හොඳ ප්‍රතිලාභ ලැබෙනවා. සමේ අඳුරු ලප, පිග්මන්ටේෂන් තත්වයන්ට ප්‍රතිකාර කරමින් ඒවා දුරුකිරීමට ද මේවා සහය වෙනවා.මෙම විනාකිරි වල අඩංගු ඇසිටික් අම්ල සමේ මැරුණු සෛල ඉවත් කිරීමට හා අඳුරු කැලැල් ඉවත්කරදැමීමට සහය වෙන බව අධ්‍යයන මඟින් සොයාගෙන තිබෙනවා.වතුර සහ ඇපල් සයිඩර් විනාකිරි 1:1 අනුපාතයෙන් මිශ්‍ර කරගෙන, කපු පුළුන් කැබැල්ලකින් සමේ ආලේප කරන්න.මිනිත්තු 3ක් පමණ තිබෙන්නට හැර,මද උණුසුම් වතුරෙන් සෝදා ඉවත්කරගන්න. දිනකට දෙවරක් පමණ කිරීමෙන් හොඳ ප්‍රතිඵලයක් දැකගත හැකි බව අධ්‍යයන වල සඳහන්.

9.කෝමාරිකා

කෝමාරිකා වල ඇති ඇලෝයින් (aloin) සංඝටක සමේ පිග්මන්ටේෂන් තත්වයන් ස්වභාවිකවම දුරුකිරීමට ක්‍රියාකරයි.කෝමාරිකා සම නීරෝගී කර සමේ පැහැය වඩවයි.පිරිසිදු කෝමාරිකා මද හෝ කෝමාරිකා ජෙල් ස්වල්පයක් ඇඟිලි තුඬු වලින් ගෙන, අඳුරු ලප ඇති තැන් වල ගල්වන්න. රාත්‍රී නින්දට පෙර මෙසේ සම මත කෝමාරිකා ගල්වා, පසුදා උදෑසන අවදි වූ පසු උණුසුම් වතුරෙන් සෝදා ඉවත්කරගන්න.මෙය දිනපතා කිරීමෙන් හොඳ ප්‍රතිඵල දැකිය හැකිවේවි.

10.කහ කුඩු

කහ වල අඩංගු කර්කියුමින් සංඝටක සමේ ගැටලු වලට ප්‍රතිකාර කිරීමට ඉහළ දායකත්වයක් ලබාදෙයි. වෙනත් අමුද්‍රව්‍ය සමඟ මිශ්‍ර කර භාවිත කිරීමෙන්, සමේ අඳුරු ලප වැනි ගැටලු වලට සාර්ථක ප්‍රතිඵල අත්කරගත හැකි බව අධ්‍යයන මඟින් පෙන්වාදෙයි.උදාහරණයක් ලෙස කහ කුඩු සහ ලෙමන් යුෂ තේ හැඳි 1 බැගින් ගෙන, එළකිරි තේ හැඳි 2ක් සමඟ මිශ්‍ර කරන්න.වඩාත් ඝන හෝ දියාරු නොවන පේස්ට් එකක් වන තුරු මිශ්‍ර කර, සමේ කැලැල් ඇති තැන් වල ආලේප කරගන්න. මිනිත්තු 20ක් පමණ තබා, සෝදා හරින්න.

11.ඕට්ස්

උදෑසන ආහාරයකට අමතරව ඕට්ස් යනු සමට ද හිතකර අමුද්‍රව්‍යක් ලෙස සැලකෙන්නකි.ඕට්ස් කෝප්ප බාගයකට. ලෙමන් යුෂ තේ හැඳි 2ක් දමා, අඹරාගන්න. මෙම පේස්ට් එක සමේ කැලැල් ඇති තැන් වල ගල්වා සම හොඳින් ස්ක්‍රබ් කරගන්න (ඇඟිලි තුඬු වලින් රවුමට අතුල්ලන්න). මිනිත්තු 15ක් පමණ තිබෙන්නට හැර. උණුසුම් වතුරෙන් සෝදා ඉවත් කරගන්න.සතියකට වරක් හෝ දෙවරක් පමණ මෙය කිරීම ප්‍රමාණවත් ය.