Lanka Fashion

No 01 Online Fashion Magazine

“අවුරුදු 10ක පමණ ලොකු ආදර කතාවක් තමයි ඒ මේ හැබෑ වෙන්න යන්නේ.” අනුෂා දමයන්ති විවාහය ගැන කියූ කතාව

අනුෂා දමයන්ති කියන්නේ මේ දිනවල සමාජ ජාල තුල නිරන්තරයෙන් කතා බහට ලක්වුණු දක්ෂ රංගන ශිල්පිනියක් වගේම නර්තන ශිල්පිනියක්. ඉතින් ඇය මේ දවස් වල අලුත්ම තොරතුරු පුවත්පතකට මෙලෙසින් පවසා තිබුණා. “රටේ අනිත් හැමෝටම වගේම මටත් ජීවිතේ හොඳටම හොඳ නැහැ. ටිකක් අමාරුයි තමයි නමුත් හොඳින් සිටිනවා.මම කොහොමත් වැඩිපුර ටෙලිනාට්‍යය තුළින් දකින්න ලැබුණු කෙනෙක් නොවෙයි. පසුගිය කාලයේ මහවිරු පණ්ඩු ටෙලි නාට්‍ය තුළින් තමයි මාව දැකගන්න ලැබුණේ. ඉස්සර විවිධ ප්‍රාසාංගික උත්සව, සම්මාන උළෙලවල් සහ විවිධ වැඩසටහන් රූපවාහිනිය හරහා පැවැත්වුවා. මම ඒවාට සම්බන්ධ වුණා. නමුත් පසුගිය කාලයේ එවැනි ආරාධනා මම භාරගත්තේ නැහැ. මොකද රටේ පවතින තත්ත්වය සමඟ බොහෝ මිනිසුන් ජීවත් වන්නේ අපහසුවෙන්. ඉතින් අපි පමණක් සතුටු වෙන එක සුදුසු නැති නිසා ඒවාට සම්බන්ධ වුණේ නැහැ මේ දිනවල කලා කටයුතු කෙරෙන්නෙත් බොහොම අඩුවෙන්. මම ටෙලි නාට්‍යවලට සම්බන්ධ වන්නේ කලාතුරකින්. නමුත් මම මේ කාලය තුළ ටෙලි නාට්‍යය හතරකට පමණ සම්බන්ධ වුණා. චිත්‍රපට දෙක තුනකට ආරාධනා ලැබුණත්, රටේ තත්ත්වය නිසා ඒවායේ වැඩ කල් ගියා. ඉස්සර නම් නර්තන ප්‍රසංග බොහෝ ප්‍රමාණයක් සංවිධානය කෙරෙනවා. නමුත් මේ වන විට ප්‍රසංග සංවිධානය වීම සියයට පනහක් පමණ අඩු වෙලා තිබෙන්නේ.”

ඉතින් හැමෝම කතාවෙන ඇයගේ පෙම්වතා ගැන වගේම විවාහය ගැනත් ඇය මේ විදිහට පැවසුවා. “මම මේ අවුරුද්ද තුළ අනිවාර්යයෙන්ම විවාහ වෙනවා. මගේ විවාහය ඇත්තටම සැලසුම් කළේ 2019දී. විශාල පිරිසකට ආරාධනා කරලා විශාල විවාහ මංගල්‍යයක් පවත්වන්න මම සැලසුම් කළා. කාඩ් පවා බෙදලා සියලු දේවල් සූදානම් කරලා තිබෙන විට තමයි පාස්කු ප්‍රහාරය සිදුවුණේ. ඉතින් ඒ වෙලාවෙ බොහෝ දෙනෙක්ට විවාහයට සහභාගි වීමේ ගැටලු මතුවෙන්න පුළුවන් නිසා මම විවාහය කල් දැම්මා. ඉන් පසුව කොවිඩ් වසංගතය පැමිණියා. දැන් තිබෙන ලොකුම ගැටලුව රටේ පවතින තත්ත්වය සහ ආර්ථිකය සමඟ එවැනි විශාල විවාහ උත්සවයක් ගන්න බැහැ කියන එක. ක්ෂේත්‍ර ගණනාවක මම ඇසුරු කරන හිතවතුන් බොහෝ පිරිසක් සිටිනවා. ඉතින් කවුරු හරි මඟහැරුණොත් ඔවුන් තරහා වෙයිද කියලා බයයි. විවාහය මොන ආකාරයෙන්ද පවත්වන්නේ කියලා තවම හරි අදහසක් නැතත් අනිවාර්යෙන්ම මේ අවුරුද්ද තුළ විවාහය ගන්නවා. බොහෝ විට එය සරල චාම් විවාහ මංගල්‍යයක් වෙයි.ඔහු ව්‍යාපාරිකයෙක් සහ කායවර්ධන විනිසුරුවරයෙක්. ලංකාවේ ඉතාම දක්ෂ කායවර්ධන පුහුණුකරුවෙක් වගේම ලංකාවේ අඩු වයසින්ම ජාත්‍යන්තරය නියෝජනය කළ කායවර්ධන විනිසුරුවරයාත් ඔහුයි. ඔහු මගේ රසිකයෙක්. අවුරුදු 10ක පමණ ලොකු ආදර කතාවක් තමයි ඒ මේ හැබෑ වෙන්න යන්නේ.”

(මව්බිම පුවත්පතේ පළවුණු ලිපියක් ඇසුරෙනි.)