Lanka Fashion

No 01 Online Fashion Magazine

“ඇත්තටම එයා වගකීම්සහගත හොඳ තාත්තා කෙනෙක්.” දිනක්ෂි ආදරණිය සැමියා සාරංග ගැන කියූ කතාව.

දිනක්ෂි සාරංග කියන්නේ මේ දවස් වල මුහුණු පොතේ හැමතැනම දකින්න ලැබෙන යුවලක්. ඒ අවුරුද්දක් පුරාවට මුහුණ නොපෙන්වූ ඔවුන්ගේ දියණිය සරන්යාගේ පලමු උපන්දිනයත් සමඟ ඇයගේ චායාරූප මාධ්‍යට මුදාහැරිම නිසයි. ඉතින් දිනක්ෂි මේ දවස් වල විස්තර ඇය පුවත්පතකට එලෙසින් පවසා තිබුණා. “ශිවගුරුනාදන් මහතාගේ “තිරය ඇරපන්” ටෙලි නාට්‍යයේ රූගත කිරීම් කරනවා. එය සැප්තැම්බර් 06 වැනිදා සිට සතියේ දින 5ම රාත්‍රි 9.00ට ස්වාධීන රූපවාහිනි නාළිකාවේ විකාශය වනවා. ඉතින් රූපගත කිරීම් සහ බබාගේ වැඩත් සමඟ තරමක් කාර්යබහුලයි.තිරය ඇරපන් ටෙලි නාට්‍යයේ චරිතය අසනි නාට්‍ය හා රංග කලාව හදාරන විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක්. ඒ ආකාරයට තමයි චරිතය ගලාගෙන යන්නේ.”

ඉතින් මවක් වීමට පසු රංගන කටයුතු වලට ලැබුණු අරාධනා ගැනත් මේ විදිහට පැවසුවා. “මුලින්ම Cinama.lk එක වෙනුවෙන් අප්‍රේල් මාසයේදී අලුත් අවුරුද්ද සඳහා නිසංක වේහැරදුව මහතා අධ්‍යක්ෂණය කළ “අප්පච්චි”කෙටි චිත්‍රපටයටත්, දිල්ශාර ජයමාන්න මහතා අධ්‍යක්ෂණය කළ “යාළුවෝද යාළුයිද” චිත්‍රපටයටත් සම්බන්ධ වුණා. ඉන් පසුවයි තිරය ඇරපන් ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණේ.”ඒ වගේම මවක් වීමෙන් පසු ජීවිතය ගැනත් මේ විදිහට පැවසුවා. “මවු පදවිය බොහොම උතුම් සුන්දර අත්දැකීමක්. ඒ වගකීම එකවරම වගේ තමයි ලැබුණේ. මම හරිම සැහැල්ලුවෙන් ජීවත් වුණු කෙනෙක්. විවාහය නිසාවත් වගකීම් කියන දේ මට ලොකුවට දැනුණේ නැහැ. අපි දෙන්නාම සෑමවිටම අපේ ජීවිත අතිශය සංකීර්ණ කරගන්නේ නැතිව එදිනෙදා ජීවිතය බොහොම සාමාන්‍ය විධියට ගත කරනවා. අම්මා කෙනෙක් විධියට දැන් මට ලොකු වගකීමක් පැවරී තිබෙනවා. නමුත් ඉතින් ඒක ලොකුවට බරක් කරගෙන නැහැ. බබත් සමඟ ගත කරන කාලය හරිම සුන්දරයි.”

ඉතින් නිරන්තරයෙන්ම විවිධ දෝෂාරෝපණ එල්ල වෙන එක ගැනත් ඇය මේ විදිහට අදහස් දැක්වුවා. “ගොඩක් වෙලාවට සමාජ මාධ්‍ය තුළ ප්‍රසිද්ධ චරිතවලට නරක කමෙන්ට්ස් කරන්නේ ව්‍යාජ ගිණුම් හරහා. තමන්ට දිනාගන්න බැරි වූ දේ, තමන්ගේ ජීවිතයේ තිබෙන ආවේග, පීඩන, ප්‍රශ්න – ගැටලු සියල්ල පිට කරන්නේ සමාජ මාධ්‍යය හරහායි. ඒක මටයි නංගිලාටයි විතරක් පොදු දෙයක් නොවේ. ලංකාවේ බොහෝ ජනප්‍රිය අයට ඒවගේ කමෙන්ට්ස් වැටෙනවා. ඇත්තටම මම එවැනි නරක කමෙන්ට්ස් දාන අයට අනුකම්පා කරනවා. එවැනි කමෙන්ට්ස් දැමීමෙන් සිදු වන්නේ ඔවුන් කවුද කියා සමාජයට පෙනී යෑම පමණයි. සාමාජ මාධ්‍ය තුළදි තමන්ට සිතෙන ඕනෑම දෙයක් ප්‍රකාශ කරන්න අවසර තිබෙනවා කියා සිතන්න බැහැ. එහිදී තමාම පනවාගත් ස්වයං විනයක් තිබිය යුතුයි. එවැනි කමෙන්ට් නිසා අපේ ගමන නම් වෙනස් වන්නේ නැහැ.”

ඒ වගේම තම ආදරණිය සැමියා සාරංගගෙන් ලැබෙන සහයෝගය ගැනත් මේ විදිහට පැවසුවා. “ඇත්තටම එයා වගකීම්සහගත හොඳ තාත්තා කෙනෙක්. එයා තරමක් කාර්යයබහුල වුණත්, බබා සමඟ කාලය ගත කරන්න දවස ඇතුළෙදි වෙලාවක් හදා ගන්නවාමයි. බබාට එයාගෙන් ඉටුවිය යුතු වගකීම්, යුතුකම් 100%ක්ම නොපිරිහෙළා ඉටු කරනවා. ඇතැම්විට මගෙන් මඟහැරෙන දේවල් පවා ඔහු සොයාබලා ඉටු කරනවා. ඔහු දරුවන්ට ගොඩක් ආදරේ කරන කෙනෙක්.”