Lanka Fashion

No 01 Online Fashion Magazine

“කවුරු මොනව කිව්වත් මම කැමතිම විලාසිතා කැමතිම විදිහට හැමදාම කරන්නයි මං පුරුදු වෙලා ඉන්නේ.”

යුරේනි නොෂිකා කියන්නේ අපේ කලා ලෝකයේ ඉන්න ඉතාමත් දක්ෂ රංගන ශිල්පිනියක් වගේම දක්ෂ නිරූපණ ශිල්පිනියක්. ඉතින් මේ දිනවල තිරගත වන නයිට් රයිඩර් චිත්‍රපටයේ ඇයට ලැබෙන ප්‍රතිචාර ගැන මෙලෙසින් පැවසුවා. “බොහොම ඉහළ ප්‍රතිචාරයක් ලබනවා. චිත්රපටයේ රඟපෑම මගේ ජීවිතේ විශේෂ අත්දැකීමක්. ඔබ සැමට ආරාධනා කරනවා ත්‍රාසය, භීතිය, කුතුහලය රැඳුණු කසුන් පතිරණ මහතාගේ මෙම අලු‍ත්ම චිත්‍රපටය නරඹන්න කියලා .”නිරන්තරයෙන් කතාබහට ලක්වෙන ඇයගේ විලාසිතා ගැනත් ඇය මේ විදිහට පවසා තිබුණා. “විලාසිතා කියන්නේ මගේ ජීවිතේම කොටසක්.කවුරු මොනව කිව්වත් මම කැමතිම විලාසිතා කැමතිම විදිහට හැමදාම කරන්නයි මං පුරුදු වෙලා ඉන්නේ .ඒ නිසා මට ගැළපෙනවා නම් මම ඕනෑ ම විලාසිතාවක් කරනවා .විලාසිතා කරද්දී අනිත් අයගේ විවේචන හෝ කැමැත්ත ගැන මම ලොකුවට හිතන්නෙ නැහැ .සමස්තයක් විදියට ගත්තොත් පිරිසක් අගය කරනවා. තවත් පිරිසක් විවේචනය කරනවා. විලාසිතා ගැන අඹමල් රේණුවක් වත් අවබෝධයක් නැති අය මහ පුදුමාකාර විදියට මාව විවේචනය කරනවා. සමහර වෙලාවට මම ඒවා දිහා බලලා හිනා වෙනවා. මොකද මේ මිනිස්සු ඇත්තටම අසරණයි. ලෝකයේ අනිත් රටවල් එක්ක බලද්දි ලංකාවේ විලාසිතා කියන විෂය තියෙන්නෙ වසර තිහක් හතළිහක් පස්සෙන්. ඒ තරමටම ලංකාවේ විලාසිතා ගැන අවබෝධය අඩුයි . ඒ නිසා එවැනි මානසික මට්ටමක ඉන්න අය අලු‍ත් වෙන විලාසිතා කරන දිහා බලලා විවේචනය කරන එක ගැන මම ලොකුවට පුදුම වෙන්නේ නැහැ.”

ඒ වගේම ඇඳුමකින් කෙනෙකු මනින්න බැහැ කියලත් ඇය මේ විදිහට පැවසුවා. “අඟපසඟ වැහෙන්න අඳින කෙනෙක් සුදු චරිතයක් ලෙසටත් ඇඟ ඇරලා කොටට අඳින කෙනෙක් කළු චරිතයක් විදිහටත් අපිට හංවඩු ගහන්න බැහැ. මොකද ඒ ඇඳුම් සියල්ල ඔවුන්ගේ කැමැත්ත අනුව තොරාගන්නා දේවල් . තවත් දෙයක් තමයි අපි ඇඳුමක් ඇඳලා හැසිරෙන විදිහත් බලපානවා. කෙනෙක්ගෙ ආකර්ශනය ලබා ගන්න විලාසිතා කරනවා නම් එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. නමුත් අපි අපිට ගැලපෙන විලාසිතා කරනවා නං කාගෙත් වත් කමෙන්ට් ලොකුවට හිතන්න අවශ්‍ය නැහැ.”


ඒ වගේම විලාසිතා කිරීමේදී ඇය සැලකිලිමත් වෙන කරුණු ගැනත් මේ විදිහට පැවසුවා. “මම විලාසිතා කරන්නේ මූඞ් එක අනුව .මුඞ් එක හොඳයි නම් හොඳට ඇදලා පැලඳල යනවා .නැත්තං ඉතිං ඔහේ යන වෙලාවලු‍ත් තියෙනවා. සාමාන්‍යයෙන් මම විලාසිතා කරනවා නම් ඇගේ හැඩය ගැන ගොඩක් සැලකිලිමත් වෙන කෙනෙක්. හමේ පාට ගැන නම් හිතන්නේ නැති තරම්. මොකද මට ලස්සන හමේ පාටක් නැහැනෙ. එහෙමයි කියලා විවිධ පාට විලාසිතා කරන්න මම බාධාවක් කරගෙන නැහැ. තමන් කරන විලාසිතා ගැන තමන්ට ආත්මවිශ්වාසයක් තියෙනවනම් මොන ඇඳුම ඇන්දත් ඒක ලස්සනයි කියලයි මටනම් හිතෙන්නේ .විලාසිතා ගැන ලොකු අවබෝධයක් තියෙන නිසාම ඇඳුමක් දැක්ක ගමන්ම මට ඒක ගැලපෙනවද නැද්ද කියලා තීරණය කරන්න මට පුළුවන්.මගේ ඇඟේ හැඩයට ගොඩක්ම ගැලපෙන්නෙ කොට ඇඳුම්. දිග ඇඳුම් ලස්සන වෙන්න නම් හිප් එකයි, පිටුපසයි හොඳට තියෙන්න ඕනනේ.සුදු පාටට මම ගොඩක් කැමතියි .සුදු ඇන්දහම මූණට එළියකුත් ලැබෙනවා වගේම හිතට පිවිතුරු බවකුත් දැනෙනවා. යන ගමනත් සතුටින් ආත්ම විශ්වාසයකින් යන්න පුළුවන් කියන හැඟීමක් සුදු ඇන්දාම දැනෙනවා. ලෝකයේ වෙනස් වෙන විලාසිතා ගැන මම හරිම අවබෝධ යෙන් ඉන්නේ. 2022 වසරේ කලර් පැෂන් එක වෙලා තියෙන්නේ ඩාර්ක් කලර්ස්. වසරින් වසරට ඒවා වෙනස් වෙනවා. ලෝකයේ අනෙක් රටවල් එක්ක බලනකොට අපේ රටේ විලාසිතා ගැන තියෙන්නෙ බොහොම අඩු අවබෝධයක්. ලංකාවේ ඇඳුම් කඩ දහයකට ගියොත් බොහෝ විට අපට දක්නට ලැබෙන්නේ එකම ආකාරයේ විලාසිතා .නමුත් විලාසිතා කියන ලෝකය තුළ බොහෝම විවිධාකාර දේවල් නිතරම වෙනස් වෙනවා. මම ෆැෂන් ගැන අවබෝධයෙන් ඉන්නවා වගේම මට ගැළපෙන විදිහටත් ඒ විලාසිතා කරන්න මම අමතක කරන්නේ නැහැ.: