Lanka Fashion

No 01 Online Fashion Magazine

“මම එක සීමාවකට කොටු වෙලා රඟපාන්න කැමැති කෙනෙක් නෙවෙයි.”පාර දිගේ ටෙලි නාට්‍යයේ ඩාලින් අක්කා

වේදිකාවෙන් තම රංගන දිවිය ආරම්භ කර පුංචි තිරයට ආ අතිදක්ෂ චරිතාංග රංගන ශිල්පිනියක් තමයි චන්දිමා කරුණාදාස කියන්නේ. මේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වන පාර දිගේ ටෙලි නාට්‍යයේ ඩාලින් අක්කා ලෙසින් ඇය අපේ ආලින්දයට එනවා.

ඉතින් මේ දිනවල අතිශයින්ම ජනප්‍රිය ඩාලින් අක්කාගේ චරිතය ගැන ඇය මේ විදිහට පැවසුවා.“මම කටකාර චරිතයක් කරන පළවෙනි අවස්ථාව මේක. ඇත්තටම ඩාලින් අක්කා කියන්නේ වෙනස්ම චරිතයක්. මම හිතන්නේ ඩාලිං අක්කා වගේ චරිත අපිට සමාජයේ ඕනතරම් මුණගැහෙනවා. මට මේ පිටපතේ මේ චරිතය ලැබුණාම ඒ චරිතයට හුරුවෙන්න ටික කාලයක් ගියා. මට ගොඩක් දේවල් මගේ ජීවිතෙන්ම වෙනස් කරගන්න වුනා ඒ චරිතය වෙනුවෙන්. විශේෂයෙන්ම මම සැබෑ ජීවිතයේදී නිහඬ චරිතයක්. මේ වගේ මුළු ගමටම ඇහෙන්න කෑ ගහන චරිතයක් ලැබුනහම මුලින්ම බය හිතුනා ඒ චරිතය මට කරන්න පුළුවන් වෙයිද කියලා. මම අඳින පලඳින විදිය පවා වෙනස් කර ගන්න සිද්ධ වුණා. කොහොම වුණත් ඒ චරිතයට මම ගොඩක් ආදරේ කරන්න පටන් ගත්තා.”

ඉතින් ඇයව අපිට දකින්න ලැබෙන්නේ එකම ආකාරයේ චරිත වලින් නම් නොවේ. ඉතින් ඇය නිරුපනය කරන විවිධ පරාසයේ චරිත නිරුපනය ගැන මේ විදිහට පැවසුවා.“කොහොමත් මම එක සීමාවකට කොටු වෙලා රඟපාන්න කැමැති කෙනෙක් නෙවෙයි. ඒ වගේම මට දෙයක් කරන්න නැති චරිත මම බාර ගන්නෙත් නැහැ. මට මොනතරම් ආරාධනා ලැබුණත් මට ඒ චරිතයට සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන් නම් විතරයි මම ඒ චරිතයට සම්බන්ධ වෙන්නේ.එහෙම නැතුව ආවට ගියාට මම පිටපතක් භාරගෙන චරිතයකට සම්බන්ධ වෙන්නේ නැහැ.”