Lanka Fashion

No 01 Online Fashion Magazine

“මම පෙම්වතියක් නෙවේ. මේ ආදරේ කරන්න කාලයක් නෙමෙයි කියලයි මට හිතෙන්නේ.” නිලුෂි පවන්‍යා

මේ දිනවල හිරු නාලිකාවේ විකාශනය වන දිවිතුරා ටෙලි නාට්‍යයේ වින්ඩි ලෙසින් ලොකු පොඩි කා අතරත් ජනප්‍රිය වෙලා ඉන්න ඇය නමින් නිලුෂි පවන්‍යා. ඉතාමත්ම ජනප්‍රිය ඒ වගේම දක්ෂ සුරූපී රංගන ශිල්පිනියක් වන ඇය කලා ක්ෂේත්‍රයට පා තැබූ ආකාරය ගැන මේ විදිහට පැවසුවා. “2015 අවුරුද්දේ දෙරණ Miss Sri Lanka තරගයට මම ඉදිරිපත් වුණා. ඒ තරගයේදී මම අවසන් දොළොස් දෙනා අතරට තේරුණා. ඒ වගේම සුහදම නිරෑපිකාවට හිමි සම්මානය ලැබුණා. 2016 අවුරුද්දේ Siyatha Miss Worls තරගයට ඉදිරිපත් වෙලා අවසන් එකොලොස් දෙනා අතරට වගේම හොඳම සිනහව හිමි නිරූපිකාවට හිමි සම්මානය දිනාගත්තා. 2016 අවුරුද්දේ මම කොරියාවේ තිබුණු Super Talant තරගයට ඉදිරිපත් වී රටවල් පහළොස් දෙනා අතරට තේරුණා. ඒ ගමනට මම බොහෝ දුෂ්කරතා මැද තමයි සහභාගි වුණේ. 2018 අවුරුද්දේ මම Siyatha Miss Worls තරගයෙන් තුන්වැනියා වුණා. මම නිරූපණයට ගොඩක් ආසයි. 2010 අවුරුද්දේ ස්වාධීන රූපවාහිනියේ අවුරුදු කුමරිය තරගයෙන් මම තුන්වැනි ස්ථානය දිනාගත්තා. ඒ තරගයට මාව එක්කගෙන ගියේ මගේ ලොකු අයියයි. නමුත් පසුකාලයේදී මා නිරෑපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙනවාට ලොකු කැමැත්තක් තිබුණේ නැහැ. නමුත් දැන්නම් එහෙම ගැටලුවක් නැහැ. මුලින්ම මම රඟපෑවේ ඉලන්දාරි ටෙලිනාට්‍යයෙයි. ඒකේ රඟපාද්දී මම රංගනයට සම්බන්ධ කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ. මුලින්ම කැමරාවට මුහුණ දේදී බයක් තිබුණා. ඊටපස්සේ මම පසුකාලීනව අනෝජා වීරසිංහ මහත්මියගේ &අභින* රංගන පාසැලට ගොස් බොහෝ දේවල් ඉගෙන ගත්තා. තව මට රංගනය ගැන බොහෝ දේවල් ඉගෙනගන්න තියෙනවා. තාමත් මම ඉගෙන ගෙන තියෙන්නේ බොහෝම පුංචි දේවල් ටිකක් විතරයි. තාමත් මම මේ ක්ෂේත්‍රයට ආධුනිකයි.”

ඒ වගේම ඇය ඇයගේ පවුලේ විස්තරත් මේ විදිහට පැවසුවා. “මගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, අයියලා දෙන්නයි, අක්කයි, මමයි. අපි ඉන්නේ හලාවත. ගෙදරදී මම එහෙම දඟ ළමයෙක් නෙමේ. පාසැලේදී වුණත් ක්‍රීඩා කළත් මං ඔය දඟවැඩ කළේ නැහැ. චූටි අයියා මට පොඩි කාලේ බයයි. ඒ කාලේ මම එයාව බයකරගෙන තියාගත්තා. හැබැයි දැන්නම් මම අයියට බයයි. මම දහය වසරේ ඉඳිද්දී මගේ අම්මා විදෙස්ගත වෙලයි හිටියේ. ඒ කාලේ මම වැඩිපුරම හිටියෙ අපේ ගෙවල් ළඟ හිටපු සුලීපා කියන අක්කගේ ගෙදරයි. එයාට චූටි බබෙක් හිටියා. දැන්නම් එයා සාමාන්‍ය පෙළ කරනවා. ඒ කාලේ ඒ බබාට කවන්නෙත් මමයි, එයා මට ගොඩක් ආදරෙයි.”

ඒ වගේම ඇය ආදරය විවාහය ගැනත් මේ විදිහට පැවසුවා. “මට පාසැල් ප්‍රේමයක් තිබුණේ නැහැ. හැබැයි උසස් පෙළ අවසන් කාලයේදී කෙනෙක් මගෙන් ඇහුවත් මට එයාට කැමැත්තක් තිබුණේ නැහැ. ටික කාලයක් ගියාට පස්සේ ඒ කෙනාට වෙන ගැහැනු ළමයෙක් ඉන්නවා කියලා මට දැනගන්න ලැබුණා. ඒ ආරංචියෙන් මගේ හිතට ලොකු දුකක් ඇතිවුණා. ඒකේදී තමයි මට හිතුණේ මම එයා ගැන හිතලා තියෙනවා නේද කියලා. මුලින්ම ආදරේ කියලා මට හිතුණේ ඒ හැඟීම වෙන්න ඇති. ඉස්සර මම හරි අහිංසක චරිතයක්. ළඟින් කවුරු හරි ගියත් මම මූණ බලන්නේ නැහැ. හරි නිහඬ, පැත්තකට වෙලා පාඩුවේ හිටපු චරිතයක්. පහුකාලයේදී මම ආදරේ කරල තියෙනවා. නමුත් අද මම පෙම්වතියක් නෙවේ. මේ ආදරේ කරන්න කාලයක් නෙමෙයි කියලයි මට හිතෙන්නේ. ඒ නිසා මම මගේ පාඩුවේ වැඩ ටික කරගෙන කාලයාට ඉඩදීලා බලාගෙන ඉන්නවා.”