Lanka Fashion

No 01 Online Fashion Magazine

“ලෝක ළමා දිනය වෙනුවෙන් මම සින්දු දෙකක් කළා.” මීනූ ටෙලි නාට්‍යයේ මිනුකි දුව.

මේ දවස් වල ටෙලි තිරය තුල කාගේත් ආදරය දිනාගත් පුංචි දියණියක් තමයි තෙනුකි.තෙනුකි කියනවට වඩා බොහෝ දෙනෙකු ඇයව හඳුනන්නේ ITN නාලිකාවේ විකාශනය වූ මීනූ ටෙලි නට්‍යයේ මිනුකි ලෙසින්. ඉතින් මේ දවස් වල තොරතුරු ඇය පුවත්පතකට මෙලෙසින් පැවසුවා. “මේ දවස්වල ලෝක ළමා දිනය වෙනුවෙන් ගීත දෙකක් නිර්මාණය කළා. එකක් නම් කළේ “අල මල ගහ ළඟ” කියලා. අනෙක ඉංග්‍රීසි සින්දුවක්. සින්දුවෙන් අපේ පරිසරය ගැන තමයි කියන්නේ. චිත්‍රපටයකටත් ආරාධනා ලැබුණා. ඒ වගේම සිහින ගෙනෙන කුමාරියේ ටෙලි නාට්‍යයේ රංගන කටයුතු කරගෙන යනවා. මම ලලිත් පැරකුම් සර් ළඟ නර්තනය ඉගෙන ගන්නවා. ප්‍රතිචාර ගොඩක් මැද මීනූ ටෙලි නාට්‍යත් අවසන් වුණා.”

හැමෝගෙම ආදරය දිනාගත් මිනුකි ගැනත් ඇය මේ විදිහට පැවසුවා. “ගයනි අශිංසලා නැන්දා මට මුලින්ම මීනූ කතාව එව්වා. ඒ කතාව මම සම්පූර්ණයෙන්ම ආසාවෙන් කියෙව්වා. මගේ චරිතය වෙනුවෙන් ඉරේෂ් ලොකුබණ්ඩාර මාමා මට ගොඩක් උදවු කළා. ඉරේෂ් මාමා හිටපු නිසා මට බයක් දැනුනෙම නැහැ. ඉරේෂ් මාමා මීනූ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කරපු නිසා තමයි මම ඒ චරිතය භාර ගත්තෙත්.මීනු ටෙලි නාට්‍යය ඉවර වුණ ගමන්ම අපි කතරගම කිරි වෙහෙර වඳින්න ගියා. ඒ යනකොට නැන්දලා, මාමලා, අයියලා, අක්කලා ගොඩක් අය මට මුණ ගැහුණා. මම එක්ක ගොඩක් අය සෙල්ෆි ගැහුවා. පලතුරු වට්ටිවල පලතුරු ගොඩක් මට කන්න දුන්නා. ඉස්කෝලේ ගොඩක් අය මිනුකි කියලා තමයි කතා කරන්නේ. Youtube එකේ වුණත් මට ගොඩක් හොඳ ප්‍රතිචාර තියෙනවා කියලා තාත්තා කිව්වා.මේ දවස්වල නම් හැමෝම කතා කරන්නෙ මිනුකි කියලා. මොකද මීනූ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය කළේ මමනේ.”ඉතින් මිනුකිගේ අම්මා වුනු ශලනි තාරකා ගැනත් ඇය මේ විදිහට පැවසුවා. “ශලනි නැන්දා මට රඟපාන්න ගොඩක් උදවු කළා. මාව ආදරෙන් පිළිඅරගෙන මම එක්ක සෙල්ෆි ගහලා නාට්‍යය ඉවර වෙනකම්ම මට ලොකු සහයෝගයක් ලබා දුන්නා. රඟාපාන හැම වෙලාවකම දෙබස් මම එක්ක සාකච්ඡා කරලා මේ විධියටයි මේක වෙන්න ඕන කියලා මට කියලා දුන්නා. මීනූ ටෙලි නාට්‍යයේ ගොඩක් සංවේදී තැන් තිබුණා. ඒවාට ගොඩක් ශලනි නැන්දා තමයි උදවු කළේ. ඒ වගේම මේනක මාමත් මට ගොඩක් ආදරෙයි. සමහර වෙලාවට මේනක මාමයි, මමයි එක පාරින් සීන් එක ඉවර කළා. සුදර්ශි ගැලනිගම නැන්දා, නිරෝෂණ විජේසිංහ මාමා, විනුල ඉදුසර අයියා, සුදීක්ෂා – සමාධි නැන්දා, පියුමි බොතේජු නැන්දා මට ගොඩක් උදවු කළා.”

ඉතින් ඒ වගේම තෙනුකි දුව අදට යෙදී තිබෙනවා ලෝක ළමා දිනය වෙනුවෙන් ගීත දෙකක් කරපු බවත් මේ විදිහට පැවසුවා. “මම සිංහල සින්දුවක් සහ ඉංග්‍රීසි සින්දුවක් කළා. සිංහල සින්දුවෙන් කියවෙන්නේ අපි පොඩිකාලේ ඉගෙන ගත්තු අකුරු ගැන. මම හිතනවා ලොකු නැන්දලා, මාමලා වුණත් සින්දුව බලයි කියලා. මොකද එයාලගෙ ළමා කාලය මතක් වෙන නිසා. මගේ තාත්තා උපුල් එස්. උඩුවිල තමයි සින්දුව ලිව්වේ. උදාර ප්‍රනාන්දු මාමා තමයි සංගීතය නිර්මාණය කළේ. මේ සින්දුවට වීඩියෝ එකක් හැදුවේ ගයාන් මහගේ මාමා. හැමෝටම මම ස්තූතියි කියනවා මට මේ වෙනුවෙන් උදවු කළාට. ඉංග්‍රීසි සින්දුවෙ නම් තවම වීඩියෝ එකක් හැදුවෙ නැහැ. ඉංග්‍රීසි සින්දුව ලිව්වේ කිනිති ජයතිස්ස ටීචර්. අද ඉඳන් ඔයාලට මේ සින්දු දෙකම බලන්න පුළුවන්.”