Lanka Fashion

No 01 Online Fashion Magazine

“සුජීවයි මායි අතරේ තියෙන්නේ හරි සුන්දර සම්බන්ධතාවයක්.ඒක හරියට පමා වී ආ වසන්තය වගෙයි.” දුලීකා මාරපන

දුලීකා මාරපන කියන්නේ ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රය තුල දක්ෂතාවයෙන් ඉහලම තලයක ඉන්න රංගන ශිල්පිනියක්.ඕනෑම චරිතයකට පනපෙවිය හැකි චරිතාංග නිලියක් ලෙසින් ඇය ක්ෂේත්‍රය තුල ජනප්‍රියයි.ඉතින් ඇය ඇයගේ ජිවිතයේ නොයෙකුත් කැපකිරීම් සිදුකිරීමට වූ අවස්ථා ගැන මේ විදිහට පැවසුවා.“යම්කිසි විෂයක් තෝරා ගන්නවා නම් ඒ වෙනුවෙන් අපි හැදෑරීමක් කළයුතු වෙනවා. ඒ හැදෑරීම වෙනුවෙන් අපිට යම් කාලයක් සහ පුහුණුවීම් අවශ්‍ය වෙනවා. මේ කාලය පුහුණුවීම හා අධ්‍යයනය කියන දේට කැපකිරීම වචනය මම පාවිච්චි කරනවා. ඇත්තටම ඒක කැපකිරීමටත් වඩා ඒක අත්‍යවශ්‍ය කාරණාවක්. ජීවිතය ඉදිරියට ගෙනයාමට යම් විනයක්, හැදෑරීමක් තිබිය යුතුමයි. මගේ ජීවිතේ මම කැපකිරීම කියන දේ පාවිච්චි කරන්නේ නැහැ. නමුත් මම ඒ හැමදේම කළයුතුම දේවල් විදිහටයි සලකන්නේ. පුංචි කාලේ ඉඳන් මම හිතපු දෙයක් තමයි උඹ රුපියල් දාහක් උපයනව නම් උඹ ඒ රුපියල් දාහ වෙනුනේ රුපියල් හාරදාහක වැඩ කරපං කියලයි. ඒක මට කියලා දුන්නේ මගේ අත්තායි.”ඒ වගේම ජිවිතයේ මුහුණ දෙන්න සිදුවුණු කඩාවැටීම් ගැනත් ඇය මේ විදිහට පැවසුවා.“මට මගේ ජීවිතේ කඩා වැටීම් කියන දේ දැනිලා නැහැ. මම හැමදේම මගේ ජීවිතයට අත්දැකීම් ලෙස සලකන කෙනෙක්. යමකට මට මුහුණ දෙන්න ලැබෙද්දී ඒක මගේ ජීවිත අත්දැකීමක් විදිහටයි මම හිතන්නේ. ඒ අත්දැකීම මට ධනාත්මකද, ඍණාත්මකද කියලයි මම හිතුවේ. ඒක යම් විදිහකින් ඍණාත්මකව බලපාලා තියෙනවා නම් ඊළඟ අඩියේදී ඊටත් වඩා ශක්තිමත්ව මම නැගිටලා තියෙනවා. මිනිසුන්ගේ ජීවිතවල එක එක විදිහේ කඩාවැටීම්වලට මුහුණ දෙන්න සිදුවෙනවා. ප්‍රේමයත්, ආර්ථික වශයෙන්, පවුල් බිඳවැටීම්, විභාග අසමත්වීම් වැනි කඩා වැටීම්වලට මිනිසුන්ට මුහුණ දෙන්න සිදුවෙනවා. සමහරුන්ට තමන්ගේ ජීවිත ගොඩනඟා ගන්නට තව කෙනෙකුගේ උපදේශය පවා ලබාගන්න සිදුවෙනවා. ඒක මගේ ජීවිත ඇතුළෙන්ම සිදුවන දෙයක්. මම නිතරම මාත් එක්කම කතා කරන කෙනෙක්. මගේ ජීවිතවලට බලපෑම් ඇතිවෙන කාරණා ආවොත් මම ඒ තප්පරයෙන්ම නැවත වතාවක් ඊට වඩා දහගුණයකින් ශක්තිමත් කෙනෙක් විදිහට නැගී සිටිනවා. ඒ නිසා ජීවිතේ කඩාවැටීමක් ගැන හිතන්න මට වෙලාවක් නැහැ.”

ඉතින් මේ වන විට විවාහ වෙලා සාර්ථක විවාහ ජිවිතයක් ගත කරන ඇය තම ප්‍රථම ප්‍රේමය මේ විදිහට මතක් කළා.“ප්‍රථම ප්‍රේමය කියන්නේ සුන්දර මතකයක්. මගේ ප්‍රථම ප්‍රේමය කියන්නේ මොන ප්‍රේමයටද කියලත් කල්පනා කළා. එක්තරා වයසකදී ප්‍රේමාරාධනා අතිශයින්ම මා වෙත ගලාගෙන ආවා. මගේ ඥාති පාර්ශ්වවලින්, හිතවතුන්ගේ පාර්ශ්වවලින්, අධ්‍යාපනය ලබද්දී ඒ මුණගැහෙන මිතුරන්ගෙන්ද ප්‍රේම ආරාධනා ලැබුණා. ඒ අසාමාන්‍ය විදිහට ආපු ප්‍රේම ආරාධනා තුළ මම බාරගත්තු ආරාධනාවකුත් තිබුණා. ඒ කාලයේ ප්‍රේමය අද වර්තමානයේ දකින ප්‍රේමයට වඩා ගොඩක් වෙනස්. හරි ලස්සන කවි, නිසැදැස්, කතන්දර, ලියුම් එක්ක හරි අපූරු සාහිත්‍ය ලෝකයක් එක්ක ඒ කාලේදී ඒ ප්‍රේමය ලැබුණා. අද මැසේජ් එකක් දාලා, හායි කියල පටන් අරගෙන I Love You කියල ගහල Shall we meet? කියල කොහේ හරි තැනකට ගිහින් මුණගැහිලා සියල්ල අවසානයේදී හැමදේම පළුදු කර ගන්නවනේ. ඒ කාලේදී හරි සුන්දරයි. ඒ කාලේ දුටු සතුටුනේ. කොහේ හරි ඈත කොනක, නෙත පිනවන දර්ශනය හරි අපූරුයිනේ. ඒ දැකීමත් පසුව හිරවන සුන්දර හැඟීමක්. ඒ ආදරය හරි අව්‍යාජයි. නැවුම්. මම ඒ සුන්දර ප්‍රේමය වින්දා. හැබැයි ඒවාට වැඩි ආයුෂ නැහැ. අපේ පවුල්වල එහෙම සම්බන්ධතා ඇතිකර ගැනීම තහනම්. ඒ නිසා බොහෝම හොරාට කරපු ආදරය අවුරුද්දක් විතර ගියාට පස්සේ අපේ අම්මම තිත තියලා තිබුණා.”ඉතින් ඇය ඇයගේ ආදරණිය සැමියා සුජීව ස්සමග ගෙවන ජීවිතය ගැනත් මේ විදිහට පැවසුවා.“මට දැනෙන විදිහට අද සුජීව එක්ක ගතකරන ආදරය අතිශයින්ම සුන්දරයි. ඒක වගකීම් සහිතයි. ඒක හරියට පමා වී ආ වසන්තය වගෙයි. මීට වඩා හොඳ පුද්ගලයෙක් මට කොහේවත් නැහැ. ඒ කාලේ ප්‍රේම කරපු කෙනෙක් මම විවාහ වුණානම් මේ වෙද්දී මම දික්කසාද වෙලාද දන්නෙත් නැහැ. සුජීවයි මායි අතරේ තියෙන්නේ හරි සුන්දර සම්බන්ධතාවයක්. ඒ බැඳීම තුළ හරිම සරලයි. අපි දෙන්නම එකම ගමනක් යන අයයි. ඒ නිසා අපි දෙන්නාගේ කැමැති අකමැති වීම් හරි සමානයි. කිසිම බාධාවන්, තහංචි නැහැ. අපිට අපේ අදහස් ප්‍රකාශ කිරීම්වලට ලොකු ඉඩක් තිබෙනවා. ඒ අවබෝධය අපිට වැදගත්.”