Lanka Fashion

No 01 Online Fashion Magazine

ඔසප් වේදනාව සුව කරගැනීමට සරල ආයුර්වේදීය ප්‍රතිකාර 5ක්.

සෑම කාන්තාවක්ම පීඩා විඳින තවත් එක්තරා අවස්ථාවක් වන්නේ ඔසප් දිනවල ඇති වන විවිධ ශාරීරික වේදනාවන් ය.මෙම ඔසප් වේදනාව ඇති වීමට හේතුව කුමක්දැයි බොහෝ දෙනා විමසන අතර එම රෝග ලක්ෂණ ඇති වීමට ද විවිධ හේතු තිබේ.මෙම වේදනාවන් ඇති වීමට හේතුව වන්නේ ඔසප් දිනවල දී ගර්භාෂයේ ඇති වන හැකිළීම් ස්වභාවය ය.ඔසප් දිනවල දී කලකිරීම් ස්වභාවය,නුරුස්නා ගතිය මෙන්ම කොන්දේ වේදනාව,උදරයේ වේදනාව,හිසේ කැක්කුම,අත් පාවල වේදනාව, ඔක්කාරය,කරකැවිල්ල රෝග ස්වභාවයෙන් දැකිය හැකිය.මෙම වේදනාවන් නිසා ඇති වන පීඩාවන් අවම කර ගැනීමේ ක්‍රම ද තිබේ.

ජලය පානය කිරීම.

ඔසප් දිනවල දී නිතර හොඳින් ජලය පානය කළ යුතු ය.විශේෂයෙන් උණුසුම් ජලය පානය කිරීමට හැකිනම් එය වඩාත් යහපත් වේ.එමඟින් සිරුර නිතර වියළීම වළක්වාලයි.උණුසුම් ජලය පානය කිරීම මඟින් රුධිර වහනය වේගවත් කොට සිරුරේ මාංශ පේෂීන් ලිහිල් කරනු ලබයි.එම නිසා ඔසප් දිනවල දී හොඳින් ජලය පානය කිරීම මඟින් වේදනාව සමනය කරගත හැකි ය.

පෝෂ්‍යදායි ආහාර ලබා ගැනීම.

ඔසප් දිනවල දී අධික ලෙස රුධිරය වහනය වන නිසා සිරුරට යකඩ,ෆෝලික් වැනි පෝෂකාංග අත්‍යවශ්‍ය වේ.මෙම දිනවල දී ආහාර පිළිබඳව වැඩි රුචිකත්වයක් ඇති නොවූව ද අපහසුවෙන් හෝ හොඳ පෝෂදායි ආහාර වේලක් ලබා ගත යුතු ය.වැඩි වශයෙන් ම කැල්සියම,ප්‍රෝටීන් අඩංගු ආහාර සහ කෙඳි සහිත ආහාර ලබා ගැනීම මඟින් මෙම දිනවල දී ඇති වන වේදනාව අඩු කර ගත හැකිය.මාලු,බිත්තර,පලා වර්ග ආදිය ආහාරවලට එකතු කර ගැනීම මෙහි දී ඉතාම වැදගත් වේ.ඔසප් දිනවල දී මස්,මාළු, බිත්තර ආදිය ආහාරයට ගැනීම නොකළ යුතු යැයි පවසන මිත්‍යා මතයන් ඉවත ලා හොඳ පෝෂ්‍යදායී ආහාර ලබා ගැනීම කළ යුතුය.

කුරුඳු,ඉඟුරු සහ සුදුළුණු ආහාරවලට එකතු කිරීම.

මෙම දිනවල දී ඇති වන ඔක්කාර ගතිය,ආහාර අරුචිය නැති කොට ආහාර ගැනීමට හොඳ ප්‍රියතාවයක් ඇති කර ගැනීම සඳහා කුරුඳු, ඉඟුරු වැනි කුළුබඩු වර්ග ආහාරවලට එකතු කිරීම සිදු කළ හැකිය.එමෙන්ම සුදුලූනු ආහාරයට ගැනීම මඟින් උදරයේ ඇති වන වේදනාවන් සමනය කර ගැනීමට ද හැකි වේ.එය යටි බඩේ වේදනාවට සහ වමනය සඳහා ද සුවය ගෙන දෙයි.

කොත්ත මල්ලි පානය කිරීම

නොත්ත මල්ලි පානය කිරීම මගින් ද ඔසප් දිනවලදී ඇතිවන වේදනාවන් සමනය කර ගත හැකිය.එමෙන්ම අධි රුධිර පීඩනය ද පාලනය කෙරේ.

යඩි බඩ උණුසුම්ව සම්බාහනය කිරීම.

යටි බඩට උණුසුම ලබා දීම ඔසප් දිනවල දී බොහෝ කාන්තාවන් සිදු කරන ක්‍රියාවකි.යටිබඩ ආශ්‍රිත ප්‍රදේශය තාප බෑගයක් මඟින් හෝ උණුසුම් කළ රෙදි කැබැල්ලක් මඟින් සම්බාහනය කිරීමෙන් යටි බඩෙහි ඇති වන වේදනාව අඩු කර ගැනීමට හැකි වේ.මෙම අවස්ථාවේ දී උණු වතුර බෝතලයට භාවිත කළ හැකිය.කොන්දේ ඇති වන වේදනාවට ද මෙම ක්‍රමය ම භාවිත කිරීම මගින් වේදනාව සමනය කර ගැනීමට හැකි වේ.

ව්‍යායාම කිරීම.

මෙම දිනවල දී ව්‍යායාම කිරීම මඟින් සිරුරේ ඇතිවන වේදනාවන් අඩු කර ගැනීමට හැකි වේ.එමෙන් ම යෝග අභ්‍යාස වැනි ක්‍රියාකාරකම් සිදුකිරීම මගින් මානසික ඒකාග්‍රතාවය වර්ධනය වී ඔසප් වේදනාවන් සාමාන්‍යයෙන් කර ගැනීමට හැකියාව ලැබේ.හොඳින් දහඩිය දැමීමට ව්‍යායාම කිරීමෙන් ශරීරයෙන් පිට කරන එන්ඩෝර්ෆින් හෝමෝන ප්‍රතික්‍රියාවන් නිසා ඔසප් වේදනාව අඩු කර ගැනීමට හැකි වේ.

මෙම ක්‍රමවේදයන්ට අමතරව උණුසුම් වතුර බේසමක දෙපා රඳවා තබා ගැනීම,තමන් ප්‍රිය කරන පොතක් කියවීම,චිත්‍රපටයක් නැරඹීම වැනි ක්‍රියාකාරකම් තුළින් ද සිත එකඟ කරගනිමින් සන්සුන් තත්වයකින් යුතු ව ඔසප් දිනවල දී ඇති වන වේදනාවන් විඳ දරා ගැනීමට හැකියාව ලැබේ.මෙවැනි ක්‍රියාකාරකම් සිදුකිරීම මගින් ඔබට ඔසප් සමයේ දී ඇති වන වේදනාවන් සමනය කරගැනීමට හැකියාව ලැබේ.බොහෝ දෙනා භාවිත කරන වේදනා නාශක පෙති ලබා ගන්නවාට වඩා මෙවැනි ක්‍රියාකාරකම් තුළින් තමන්ගේ ඔසප් වේදනාව අඩු කර ගැනීම ඉතාම යහපත් වේ.නමුත් මෙම ක්‍රියාකාරකම් තුළින් පවා ඔබගේ වේදනාව අඩු නොවේ නම් වෛද්‍යවරයකු හමු වී ප්‍රතිකාර ලබා ගැනීමට යොමු විය යුතු ය.