Lanka Fashion

No 01 Online Fashion Magazine

ඇස් යට ඉදිමුම දුරුකරගැනීමට ස්වභාවික පිළියම් ක්‍රම

ඇස් යට ඉදිමුම ,එහෙමත් නැතිනම් Eye bags ඇතිවීම ඔබේ මුහුණේ ලස්සන නීරෝගී පෙනුම නැතිකරදමනවා.ඇස් යට ඉදිමීමට නොයෙකුත් හේතුසාධක බලපාන්න පුළුවන්. ආසාත්මිකතා ලක්ෂණයක් ලෙස,ආතතිය නිසා,දුම්බීම,අධික ලුණු පරිභෝජනය සහ හොඳ නින්දක් නොලැබීම වගේ හේතු ඉන් ප්‍රධානයි.මෙම හේතුසාධක ඔබේ ඇස් යට පිහිටා ඇති සංවේදී පටක තුළ තරල තැන්පත්වීමට තුඬුදිය හැකියි. ඒවා තුළ තරල පිරීමෙන් ඇස් යට සියුම්ව ඉදිමී පිම්බුණු ගතියක් ඇතිවීමට පටන්ගන්නවා.මෙම තත්වය භයානක හෝ සෞඛ්‍යයට තර්ජනයක් නොවුණත් , ඉන් ඔබේ මුහුණේ සුන්දරත්වයට බලපෑම් ඇතිවෙන්නට පුළුවන්. විශේෂයෙන්ම ඇස් යට ඉදිමුම නිසා ඔබේ මුහුණෙන් වියපත්, මලානික පෙනුමක් දිස්වෙන්නට හැකියි.
ඉතින්, අද අපි ඔබව දැනුවත් කරන්නේ මුහුණ අවලස්සන කරවන ඇස් යට ඉදිමුම් දුරුකරගැනීමට ඔබට භාවිත කළ හැකි සරල පිළියම් ක්‍රම කිහිපයක් ගැනයි.

1.අර්තාපල්

‘කැටකොලේස්’ නම් ප්‍රතිප්‍රදාහක ගුණ ඇති එන්සයිම මේවායේ අඩංගුයි. ඒවා මඟින් ඇස් වටා සම එල්ලාවැටීම් හා අඳුරුවීම් දුරුකරයි.අර්තාපල් වල පිෂ්ටය සමේ ඇති වස විස ද්‍රව්‍ය ඉවතට ඇදීම සිදුකරයි.අර්තාපල් ගෙඩියක් අඟල් බාගයක පමණ පෙති 4-6කට කපන්න. ඇස් වසාගෙන එක් පෙත්තක් මිනිත්තු 10ක් පමණ ඇස් මත තබාගෙන ඉන්න.මිනිත්තු 10කට පසු අලුත් පෙත්තක් ගෙන නැවත ඇස මත තබාගන්න.ඇස් යට ඉදිමුම අඩු වන තුරු මේ පිළියම සිදුකරන්න.අවසානයේ සාමාන්‍ය වතුරෙන් ඇස් වටා සෝදන්න. පිරිසිදු පොල් තෙල් ස්වල්පයක් ආලේප කරගන්න.

2.ග්‍රීන් ටී බෑග්

ග්‍රීන් ටී (හරිත තේ) වල ඇති ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ඇස් වටා සම ප්‍රාණවත් කර තරුණ බවක් ලබාදෙයි.ඉදිමුම,රතුගතිය හා ඇස් වල ඉලිප්පුණු ස්වභාවය සමනය කරයි.ටැනින් නම් කහට ගුණය නිසා ඇස් වල ප්‍රදාහය (දැවිල්ල සහිත ඉදිමුම) අඩුකරයි.භාවිත කළ තේ බෑග් දෙකක් ශීතකරණයේ තබා සිසිල් කරගන්න. ඒවා ඇහිපිය මත මිනිත්තු 15ක් පමණ තබාගෙන ඉන්න.වේගවත් ප්‍රතිඵල සඳහා දිනකට වාර කිහිපයක් මෙය අනුගමනය කරන්න.

3.මී පැණි

විෂබීජනාශක හා ප්‍රතිප්‍රදාහක ගුණ මේවායේ බහුලයි. නින්දට යාමට පෙර පිරිසිදු මී පැණි ස්වල්පයක් ඇඟිල්ලට ගෙන ඇස් යට තවරාගන්න.නින්දේදි ඒවා සමට උරාගනියි. උදෑසන අවදි වන විට ඇස් වල ඉදිමුම දුරුවී තිබේවි.

4.බිත්තර සුදුමද

සුදුමද මඟින් ඉදිමුණු සම තාවකාලිකව සවිමත් කිරීමක් සිදුකරයි.සීත කළ බිත්තරයක් ගෙන ඉන් සුදුමදය වෙන්කරගන්න.සුදුමදය ගෑරුප්පුවකින් හෝ විස්ක් එකකින් ගසාගෙන,මෘදු මිශ්‍රණය ඇස් යට තවරාගන්න.මිනිත්තු 10ක් පමණ තබන්න. සම ඝනකම් වී ඇති බවක් දැනීම ඉතා සාමාන්‍යයි. පසුව,ඇල්මැරුණු වතුරෙන් මුහුණ සෝදා පිරිසිදු කරගන්න.

5.පිපිඤ්ඤා

සිසිලන ගුණ මෙන්ම ප්‍රතිප්‍රදාහක ගුණ ඇති නිසා සමේ ඉදිමුණු පටක අඩුකිරීමට මේවාට හැකියි.සිහින් පෙති දෙකක් පමණ කපා ශීතකරණයේ තබා සිසිල් කරගන්න. ඇස් මත මිනිත්තු 25ක් පමණ තබාගෙන ඉන්න.දිනකට දෙවරක් පමණ මෙය කිරීමෙන් හොඳ ගුණයක් ලැබේවි.

6.බේකිං සෝඩා

බේකිං සෝඩා සමේ රුධිර ප්‍රවාහය ඉහළ නංවමින් ඇස් යට ඉදිමී ඇති ස්වභාවය අඩුකරවයි.සමේ මැරුණු සෛල ඉවත් කිරීමේ ඉහළ හැකියාවක් ඇති නිසා සමට දීප්තියක් ද ලැබෙයි.කුඩා වතුර බඳුනකට බේකිං සෝඩා ස්වල්පයක් දියකරගන්න. කොටන් පෑඩ් දෙකක් ගෙන එම වතුරේ පොඟවා අතිරික්ත වතුර මිරිකා හරින්න. ඇස් මත මිනිත්තු 15ක් පමණ ඒවා තබාගෙන ඉන්න. පසුව ඒවා ඉවත් කර සීතල වතුරෙන් මුහුණ සෝදන්න.

7.එළකිරි

එළකිරි වල ඇති ලැක්ටික් අම්ල ඇස් වටා ඉදිමුම අඩුකිරීමට ප්‍රතිලාභ දෙයි. කපු පුළුන් කැබලි දෙකක් එළකිරි වල පොඟවා ඇස් යට මිනිත්තු 10ක් පමණ තබාගෙන ඉන්න.

8.රෝස වතුර

රෝස වතුර වල විටමින් C,A සහ ෆ්ලැවනොයිඩ බහුලයි.ඒවගේම ප්‍රතිප්‍රදාහක ගුණ මෙන්ම විෂබීජනාශක ගුණයෙන් ද යුක්ත බෙහෙත් වතුරක් මෙන් ක්‍රියාකරයි.රෝස වතුරෙන් සමට බොහෝ ප්‍රතිලාභ ලැබෙයි. සම නැවුම් කරමින් තරුණ බවක් ලබාදෙයි. ඇස් වටා රෝස වතුර ස්වල්පයක් ආලේප කරන්න. ඇස් වටා ඉදිමුම අඩුකරයි.

9.කෝමාරිකා

ප්‍රතිඔක්සිකාරක මෙන්ම විටමින් E ගුණ බහුල නිසා සමේ ඉදිමුම් සමනය කිරීමට කෝමාරිකා ගුණදෙයි.ඇස් යට තරල පිරී ඉලිප්පී ඇති ස්වභාවය අඩුකරයි. ‍රැළි වැටීම් පාලනය කරයි.සමට නැවුම් බවක් ලබාදෙයි.ඇස් යට කෝමාරිකා මද ස්වල්පයක් තවරන්න.

10.කෝපි

කැෆේන් මූත්‍රාවර්ධක ගුණයෙන් යුක්ත ද්‍රව්‍යකි. එම නිසා සමේ අනවශ්‍ය ලෙස එකතු වී ඇති තරල ඉවත්කර,සමේ ඉදිමුම් අඩුකරයි.කෝපි කුඩු තේ හැඳි එකක් බිත්තර සුදුමදයකට එක්කර ගසාගන්න.ඇස් යට තවරා මිනිත්තු 15ක් පමණ තිබෙන්නට හැර සෝදන්න.

11.සීත කළ හැඳි

මෙය තරමක් වෙනස් ක්‍රමයක්! හැඳි වල ඇති සීතල නිසා සම සමනය වී ඇස් වටා ඉදිමුම අඩුවී යයි.ශීතකරණයේ තබා සිසිල් කරගත් හැඳි දෙකක් මිනිත්තු 10ක් පමණ ඇස් යට තබාගෙන්න ඉන්න. මෙය සිසිල් තැවීමක් මෙන් ක්‍රියාකරයි.

12.ආමන්ඩ් තෙල්

ප්‍රෝටීන්,තන්තු සහ යකඩ බහුල ශාකසාර තෙලක් වන ආමන්ඩ් තෙල් සමේ ඉදිමුම් ස්වභාවය අඩුකරවයි.නිදාගැනීමට පෙර මුහුණ සෝදා පිරිසිදු කරගන්න. ආමන්ඩ් තෙල් ස්වල්පයක් ඇඟිල්ලට ගෙන ඇස් යට ආලේප කරගන්න.සියුම්ව සම සම්බාහනය කරන්න.මින් ඇස් යට සමේ රුධිර සංසරණය උත්තේජනය වේ. ඇස් වටා නීරෝගි පැහැපත් පෙනුම ‍රැකගැනීමට දිනපතා මේ ක්‍රමය අනුගමනය කරන්න.

මීට අමතරව මේ උපදෙස් කිහිපයත් මතකයේ තබාගන්න.

•නිවැරදි නිදන ඉරියව්වක් අනුගමනය කරන්න: ඇස් යට ඉදිමුම අඩුකරගැනීමට මෙය ඉතා ප්‍රයෝජනවත්. උඩුබැලි අතට නිදාගන්නා විට හිසට යටින් අමතර කොට්ටයක් තබාගන්න.හිස මදක් උස්ව පිහිටන නිසා ඇස් යට තරල තැන්පත්වීමේ ස්වභාවය බොහෝදුරට අඩුවෙයි.
•ලුණු පරිභෝජනය අඩුකරන්න:සිරුරේ ලුණු අධික වීමෙන් සිරුරේ අනවශ්‍ය ලෙස තරල තැන්පත්වීම/එකතුවීම ද වැඩිවෙයි.එම නිසා ඔබේ දෛනික ලුණු පරිභෝජනය හැකිතාක් අඩුකරන්න. රාත්‍රී ආහාර වේලට අධික ලුණු අඩංගු ආහාර පාන ගැනීමෙන් වළකින්න. දිනපතා හොඳින් වතුර බීමෙන් අනවශ්‍ය ලවණ කොටස් සිරුරෙන් ක්‍රමවත්ව බැහැර වී යයි.

•හොඳ නින්දක් ලබාගන්න:හොඳ නින්දක් නොලැබෙන විට සම ද ඇතුළුව සිරුරේ අලුත්වැඩියාවීම්, ප්‍රකෘත්මත් වීම් හොඳින් සිදුනොවේ. නින්ද අඩුකම පසුදා අවදි වූ පසු ඇස් යට ඉදිමුණු පෙනුමක් ඇතිවීමට සෘජුවම බලපායි.එම නිසා දිනකට පැය 7-8ක් පමණ කාලයක හොඳ නින්දක් ලබාගන්න හුරුවන්න. නින්දාගැනීමට යාමේදී පරිගණක, ස්මාර්ට් දුරකථන වැනි නිල් ආලෝකය විහිදන ඩිජිටල් තිර වලට නිරාවරණය වීමෙන් හැකිතාක් වළකින්න.