Lanka Fashion

No 01 Online Fashion Magazine

ඉස්හොරි වදයට ස්වභාවික පිළියම්

ඉස්හොරි කියන්නේ පීඩාවකටත් වඩා ඔබව පිරිසක් ඉදිරියේදී අපහසුතාවට පත් කරවන හේතුවක් බව කීම වඩාත් නිවැරදියි. කොච්චර කැමති වුණත් තද පැහැති ඇඳුමක් අඳින එක පවා මේ ඉස්හොරි කරදරය නිසා අපහසුයි. ඉස්හොරි මතුවිමට වයස් භේදයක් නොමැති නිසා ඕනෑම කෙනෙකුට මේ තත්වය ඇතිවීමේ ඉඩකඩ බහුලයි. ඉස්හොරි ඇති වීම නිසා හිසකබල වඩාත් වියළී යාම, හිසකෙස් ගැලවී යාම වැනි බලපෑම් ඇති විය හැකියි වගේම ඔබේ ආත්මාවිශ්වාසයටත් ඉන් බාධා මතුවීම සිදුවිය හැකියි.ඉස්හොරි යනු හිස්කබලේ ඇතිවන දිලීර රෝගයකි. මෙයට මූලික වන්නේ malassezia නම් දිලීරයයි.මෙම දිලීර ඉස්කබලේ ස්වභාවිකව ස්‍රාවය වන තෙල් ආහාරයට ගනියි. මෙම සංයෝගවීම හිස්කබලේ සුදු පැහැති කුඩා කුඩු කුඩු (පොතු) ස්වභාවයක් ඇතිකරවයි. හිසේ තෙල් ගතිය, තෙල් ගතිය නිසා නිතර හිස සේදීම,උෂ්ණ දේශගුණය,අධිකව දහඩිය දැමීම,ආතතිය වැනි හේතු ඉස් හොරි වැඩිවීමට හේතුවේ.ඉස්හොරි වලට හොඳින් ප්‍රතිකාර නොකළහොත් හිසකෙස් හැලීම, හිස්කබලේ සම ආශ්‍රිත ගැටලු (තුවාල බිබිලි, සැරව බිබිලි), මුහුණට හා පිටට වැටීමෙන් කුරුලෑ බිබිලි ඇතුළු චර්ම ගැටලු මතුවීමට ඉඩ තිබෙයි. ඉස්හොරි නිසා නිතරම හිස්කබල කැසීමට පටන්ගනියි.ඉස් හොරි දුරුකරගැනීමට නම් එම දිලීරය විනාශ කර දැමීම ඉතා වැදගත්. මේ සඳහා ස්වභාවික ප්‍රතිකාර ද අපට සහය ලබාදේ.ඉස්හොරි වදයෙන් බේරීම සඳහා වඩාත් කාර්යක්ෂම සහා ප්‍රතිඵලදායි ස්වභාවික ක්‍රම කිහිපයක් ගැනයි අද ඔබට කියන්නේ.

1.කොහොඹ

බැක්ටීරියානාශක ,දිලීරනාශක සහා ස්වභාවික පිරිසිදුකාරකයක් සහා විෂහරණ කාරකයක් ලෙස හැඳින්වෙන කොහොඹ ඒ ලැයිස්තුවේ ඉහළින්ම ‍රැ‍ඳෙන ඖෂධයයි.ආයුර්වේදයේදි බහුලව භාවිතයට ගැනෙන්නකි. සමට හානි කරන රෝගකාරක විෂබීජ සහා චර්ම පරපෝෂිතයින් ‍රැසක් විනාශ කිරීමේ ප්‍රබල හැකියාවක් කොහොඹ කොළ වල අඩංගුයි.කොහොඹ කොළ අහුරක් බඳුනකට දමා, ඊට වතුර කෝප්ප 2ක් එක්කර හොඳින් තම්බාගන්න.පසුව, එම වතුර නිවෙන්නට හැර කොළ ඉවත්වන සේ පෙරාගන්න. ස්ප්‍රේ බෝතලයකට දමාගන්න. ස්නානය කළ පසු හිස්කබලට හොඳින් මෙය ස්ප්‍රේ කරගන්න.ඇඟිලි තුඬු වලින් සම්බාහනය කරමින් කොහොඹ සාරය හිස්කබලට හොඳින් උරාගැනීමට සලස්වන්න.මෙය සතියක් පමණ තෙවරක් කිරීමෙන් හොඳ වෙනසක් ඔබට දැකිය හැකිවේවි!

2.ඇපල් සයිඩර් විනාකිරි

ස්වභාවික සහා නොපෙරූ ඇපල් සයිඩර් විනාකිරි වල ප්‍රති-දිලීර ගුණයන් බහුල වේ. ඒවා කසන සුලු ඉස්හොරි ඇති කරවන වියළි හිස් කබලකට වඩාත් හොඳ ප්‍රතිකර්මයක් ලෙස භාවිතා කල හැකියි. හිස්කබලේ මැරුණු සෛල, කුණුදුහුවිලි, තෙල් අපද්‍රව්‍ය එකතුවීම වළකයි. හිස්කබලේ සම හොඳින් පිරිසිදු කරයි.එමඟින් හිස්කබලේ pH අගය වෙනස් කරමින් දිලීරයන් වර්ධනය වීම වළක්වයි. හිසකෙස් අධිකව වියලීම ද අවම කරයි.ඇපල් සයිඩර් විනාකිරි මිලීටර් 100ක් වතුර මිලිලීටර් 500කට පමණ මිශ්‍ර කරගන්න. මෙය ස්ප්‍රේ බෝතලයකට පුරවාගන්න.හිස්කබලට හොඳින් ආලේප වන සේ මෙය කෙස් ගස් මුල් වලට ස්ප්‍රේ කරගන්න.මිනිත්තු 30ක් පමණ තිබෙන්නට හැර, සාමාන්‍ය පරිදි ෂැම්පු ගල්වා හිස සෝදාගන්න.

3.කෝමාරිකා

කෝමාරිකා මඟින් හිස්කබලේ සම සමනය කරයි. සමට සිසිලස ලබාදී තෙතමනය යළි ඇතිකරයි. හිසේ වියළි බව පාලනය කරයි. කෝමාරිකා වල ඇති එන්සයිම ඉස් හොරි නිසා හිස්කබලේ මතුවූ ප්‍රදාහය හා කැසිල්ල අඩුකරයි.සතියකට එක් වරක් මෙම ප්‍රතිකාරය උත්සහ කිරීමෙන් ඔබට හොඳ ප්‍රතිඵලයක් ලැබේවි.උළුහාල් යනු ඉස් හොරි මර්දනයට ඇති හොඳ ඖෂධ වලින් එකකි.නැවුම් කෝමාරිකා මද මේස හැඳි 2, ‍රැයක් පුරා වතුරේ පෙ‍ඟෙන්නට දමා අඹරාගත් උළුහාල් මේස හැඳි 2ක්, ආමන්ඩ් තෙල් මේස හැඳි 1ක් බඳුනකට දමා හොඳින් මිශ්‍ර කරගන්න.මෙය හිස්කබලේ ගල්වා පැයක් පමණ වේලෙන්නට හරින්න.පසුව හිස සෝදන්න.මින් හිස්කබල පිරිසිදු වීමට අමතරව හිසකෙස් වලට හොඳ මෘදු සුමුදු බවක් ද ලැබේ.

4.ඇස්ප්‍රින්

ඇස්ප්‍රින් වල සැලිසිලික් අම්ල බහුලයි. මේවා මඟින් හිස්කබලේ අධික තෙල් ගතිය දුරලයි. හිසකෙස් අතර ඉස්හොරි කුඩු ගතිය ඉවත්කරවයි. ටී ට්‍රී තෙල් වල දිලීරනාශක ගුණ බහුල නිසා ඉස් හොරි ඇතිකරවන දිලීර ආසාදන මර්දනය කරයි. ටී ට්‍රී ඔයිල් මඟින් හිස්කබලේ සිදුරු ගැඹුරින් පිරිසිදු කරයි.ඇස්ප්‍රින් ටැබ්ලට් එකක් කුඩු කර , සාමාන්‍යයෙන් ඔබ වරකට භාවිත කරන ෂැම්පු ප්‍රමාණයට එක්කර මිශ්‍ර කරන්න. එයට ටී ට්‍රී තෙල් බිංදු 4-5ක් මිශ්‍ර කරන්න. මෙය තෙත හිස්කබලේ ගල්වා හොඳින් සම්බාහනය කරන්න.මිනිත්තු 3-5කට පමණ පසු හිස සෝදන්න.

5.ලෙමන්

ඉස්හොරි මර්ධනය සඳහා තිබෙන ප්‍රබලතම ප්‍රතිකර්මය ලෙසයි ලෙමන් හඳුන්වනු ලබන්නේ.ලෙමන් මඟින් හිස්කබලේ pH අගය සාමාන්‍ය කරමින් එහි කසන සුලු බව සමනය කරයි. හිස්කබලේ සහා හිසකෙස් අතර ඇති අමතර තෙල් සහිත ස්වභාවය නැතිකරමින් ඉස් හොරි ඇති කරවන දිලීර වර්ධනය වීම වළක්වයි.ලෙමන් යුෂ ජලය සමඟ මිශ්‍ර කරමින් හිස්කබලේ ගල්වාගන්න.මිනිත්තු 35-40 ක් පමණ තිබෙන්නට හැර හොඳින් හිස්කබල සෝදා පිරිසිදු කරගන්න. මේ සඳහා ලෙමන් සහා මී පැණි සුසංයෝගයක් ලෙස ද භාවිතා කල හැකියි.