Lanka Fashion

No 01 Online Fashion Magazine

ඔබේ මුහුණේ තරුණ පෙනුම ‍රැකගන්න උපකාරී වන අපූරු රූපලාවන්‍ය සත්කාර ක්‍රම

ඔබේ මුහුණේ තරුණ පෙනුම ‍රැකගැනීමට, සමේ මෘදු සුමුදු බව ආරක්ෂා කරගැනීමට, අවපැහැයන් හා ලප කැලැල් ඇත්නම් ඒවා දුරුකරගැනීමට, සමට ප්‍රාණවත් හා නැවුම් බවක් ලබාගැනීමට උපකාරී වන සරල හා පහසු රූපලාවන්‍ය සත්කාර ක්‍රම කිහිපයක් ගැනයි අද අප ඔබට කියන්නේ. මේ සඳහා අවශ්‍ය වන අමුද්‍රව්‍ය වර්ග ඔබට පහසුවෙන්ම ඔබේ මුළුතැන්ගෙයින් සොයාගැනීමට හැකියි.නිතිපතා භාවිතයෙන් ඔබේ මුහුණට හොඳ ප්‍රතිඵල අත්කරගැනීමට හැකිවේවි..

1.අලිගැටපේර-ඕට්ස් මාස්ක්

සම වියපත් වීමේදී මුළින්ම එය ආරම්භ වන්නේ සම වියළීමට පටන්ගැනීමෙනි.විශේෂයෙන්ම නළල, කට කොන්, නිකට ආශ්‍රිතව සම වියළී ‍රැළි වැටීමේ ස්වභාවයක් හටගනියි.අලිගැට පේර වල ඇති විටමින් E සහා ප්‍රතිඔක්සිකාරක ගුණ සමට තෙතමනය දී සම පෝෂණය කරයි.ඊට අමතරව අලිගැට පේර වල බී-කැරොටින්,විටමින් A,C,D මෙන්ම ඛනිජ ලවණ ද අඩංගුයි.අලිගැට පේර තෙල් සමේ ගැල්වීමෙන් සමෙ කොලැජන් නිෂ්පාදනය උත්තේජනය කරගත හැකි බව අධ්‍යයන වල සඳහන්.එමෙන්ම සම ප්‍රදාහයෙන් ද ආරක්ෂා කරයි.සම වියළීම පාලනය කරයි.ඕට්ස් මඟින් සමේ මැරුණු සෛල හොඳින් ඉවත් කර සමට පිරිසිදු බවක් හා දීප්තියක් ලබාදේ.ඉදුණු අලිගැට පේර ගෙඩියක මදය සූරා බඳුනකට දමන්න.ඊට ඕට්ස් අහුරක් දමන්න. මී පැණි මේස හැඳි 1ක් දමා හොඳින් කළවම් කරන්න. මී පැණි මඟින් සමට පෝෂණයක් මෙන්ම තෙතමනය ද ලැබේ. සම බැක්ටීරියා වලින් ආරක්ෂා කර සුවපත් කරයි.සමේ අධික තෙල් ගතිය පාලනය කරයි. මිශ්‍රණය මුහුණේ ගල්වා මිනිත්තු 2ක් පමණ සම්බාහනය කරන්න. පසුව මිනිත්තු 15ක් පමණ මුහුණේ ‍රැ‍ඳෙන්නට හැර,මුහුණ සෝදා, වියළි තුවායකින් තෙත මාත්තු කරගන්න.

2.මී පැණි-යෝගට් මාස්ක්

මෙම සත්කාරය අඳුරු මලානික සමට මෙන්ම වියළි සමට ද ඉතා හිතකරයි.සමේ ස්වභාවික තරුණ දීප්තිය නැවත ලබාදේ.මී පැණි වල් බැක්ටීරියානාශක මෙන්ම ප්‍රතිප්‍රදාහක හා තුවාල සමනය කරන ගුණ ඇති නිසා සමේ ගැටලු වලට ප්‍රතිකාර කරමින් සම සුවපත් කරයි.පිලිස්සුම්,තුවාල,කුරුලෑ,කැලැල්,සමේ ආසාදන,දද වැනි ගැටලු වලට ඖෂධ ශ්‍රේණියේ මී පැණි ප්‍රතිකාර ලෙස භාවිත කරයි.යෝගට් වල ඇති ලැක්ටික් අම්ල සමේ මලානික අඳුරු බව දුරුකර සම ප්‍රාණවත් කරයි. සමට එළියක් ලබාදේ.සමෙ විඩාබර බව දුරුකරයි.සමට තෙතමනය ලබාදී සමේ නම්‍යතාව වැඩිකරයි. යෝගට් මේස හැඳි 1ක් සහ මී පැණි මේස හැඳි 1ක් බඳුනකට දමන්න. ඊට ස්වභාවික කහ කුඩු ස්වල්පයක් ඇඟිලි තුඬින් ගෙන එක්කරගන්න.මෙය හොඳින් කළවම් කරන්න. කහ වල ඇති කර්කියුමින් සංඝටක සමේ ප්‍රදාහය හා ඉදිමුම් ඇතිවීම් අවම කරයි.සමේ සෛල හානිකර සාධක වලින් හානිවීමෙන් ආරක්ෂා කරයි. මිශ්‍රණය මුහුණේ ගල්වා මිනිත්තු 2ක් පමණ සම්බාහනය කරන්න. මිනිත්තු 20ක් පමණ මුහුණේ ‍රැ‍ඳෙන්නට හැර, මුහුණ සෝදා පිරිසිදු කරගන්න.

3.පැපොල්-කෝමාරිකා මාස්ක්

පැපොල් වල ඇති පෝෂණ ගුණ සම වියපත් වීම පාලනය කරගැනීමට උපකාරී වේ.කෝමාරිකා වල ගුණ ද ඊට දෙවෙනි නැත.පැපොල් වල ප්‍රොටියොලයිටික් නම් එන්සයිම මෙන්ම විටමින් A,B,C හා ප්‍රතිඔක්සිකාරක අධිකයි.මෙම පෝෂක සමට ඉතා හිතකරයි.පැපොල් වල ඇති එන්සයිම වල දිලීරනාශක,බැක්ටීරියානාශක ගුණ අඩංගුයි.කෝමාරිකා සම දුර්වල හා හානිවීම් වලින් ආරක්ෂා කරයි.සමට හොඳින් තෙතමනය දේ.සමේ නම්‍යතාව වඩවයි.සම ‍රැළි වැටීම, සියුම් රේඛා පෑදීම පාලනය කරයි.සමේ තරුණ පෙනුම ආරක්ෂා කරයි. ඉදුණු පැපොල් ගෙඩියකින් කැබැල්ලක් කපා හැන්දකින් හොඳින් පොඩි කරගන්න.ඊට කෝමාරිකා ජෙල් හෝ මද මේස හැඳි 1ක් දමා හොඳින් කළවම් කරන්න. අවශ්‍ය නම් මීට කොකෝවා පවුඩර් මේස හැඳි 1ක් ද දමන්න. කොකෝවා පවුඩර් සම ‍රැළි වැටීමෙන් හා සම අකලට වියපත් වීමට හේතුවන අහිතකර හිරු කිරණින් සමට වන හානි වලින් සම ආරක්ෂා කරවන බව විශේෂඥයින්ගේ මතයයි. මිශ්‍රණය මුහුණේ ගල්වා මිනිත්තු 15ක් පමණ වියළෙන තුරු තබන්න.පසුව අතේ ඇඟිලි වතුරෙන් මදක් තෙත් කරගෙන මෘදුව සම රවුමට සම්බාහනය කරන්න. පසුව වතුරෙන් මුහුණ සෝදාගන්න.මෙහි අම්ල අඩංගු නැති නිසා සංවේදී සමක් ඇති අයට වුවත් මෙම සත්කාරය උත්සහ කළ හැකියි!

4.බිත්තර සුදුමද

බිත්තර සුදුමද වල අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල 18කට ආසන්න ප්‍රමාණයක් අන්තර්ගතයි.මේවා සිරුරට වගේම සමට ද ඉතා ඉහළ මට්ටමේ ප්‍රතිලාභ ලබාදේ.බිත්තර සුදුමද වල අඩංගු පෝෂක සම හිරු කිරණින් ආරක්ෂා කිරීමට, සම අකලට වියපත් වීම පාලනය කිරීමට, බ්ලැක්හෙඩ්ස් වැනි කුරුලෑ ගැටලු පාලනයට ,සමේ අනවශ්‍ය රෝම වර්ධනය පාලනයට සහය දේ.
මේවායේ ඇති කොලැජන් සමේ තරුණබව ආරක්ෂා වීමට ඉතා වැදගත් සහයක් ලබාදේ.සමේ සිදුරු වසාදමමින් ඒවා අවහිර වී ආසාදනය වීම වළක්වයි.සම සවිමත් කර එල්ලාවැටීම පාලනය කරයි.මෙහි ප්‍රතිලාභ වැඩිකිරීමට ලෙමන් යුෂ ද එක්කරගත් හැකියි. ලෙමන් වල ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් වන විටමින් C බහුලයි. මේවා සමට ඉතා ගුණදායකයි.සමේ පැල්ලම් හා රතු ගතිය (blemishes) දුරලයි, සමේ අවපැහැයන් අඩුකරයි. බිත්තර සුදුමදයක් බඳුනකට එක්කර ලෙමන් යුෂ මේස හැඳි 1ක් පමණ දමා හොඳින් ගසාගන්න. ඊට මී පැණි මේස හැඳි 1ක් ද එක්කරගන්න. මිශ්‍රණය මුහුණේ ගල්වා මිනිත්තු 30ක් පමණ තිබෙන්නට හරින්න. පසුව සීතල වතුරෙන් සෝදා හරින්න.

5.ආමන්ඩ් තෙල්-ඔලිව් තෙල් මාස්ක්

ආමන්ඩ් වල සමට හිතකර විටමින් E,අත්‍යවශ්‍ය මේද අම්ල හා පොලිපෙනෝල් වැනි පෝෂක බහුලයි.මෙහි ඇති විටමින් E ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියාකරමින් සම පෝෂණය කර සම අකලට වියපත් වීම වළක්වයි.හිරු කිරණින් සමට ආරක්ෂාවක් සලසයි.මේවායේ ඇති මේද අම්ල සම ගැඹුරට කාවැදී සම මෘදු මොළොක් කරවයි.ඔලිව් තෙල් වල ද එවැනිම ඉහළ මට්ටමේ ගුණාංග අඩංගුයි. ඔලිව් තෙල් සම හිරු කිරණින් හානිවීම වළක්වන බව අධ්‍යයන මඟින් සොයාගෙන තිබේ.සමේ සෛල ඔක්සිකාරක ආතතියෙන් හානිවීම පාලනය කරයි.සමට තෙතමනය දෙන ස්ක්වලීන් නම් සංඝටක ද එහි ඇත.සම ‍රැළි වැටීම හා අවපැහැයන් දුරලයි.කුඩුකරගත් ආමන්ඩ් ඇට මේස හැඳි 2ක් ඔලිව් තෙල් මේස හැඳි 1ක් සමඟ මිශ්‍ර කරන්න. මෙය මුහුණේ ගල්වා මිනිත්තු කිහිපයක් හොඳින් සම සම්බාහනය කරන්න.මිනිත්තු 15කට පමණ වියළෙන්නට හැර මුහුණ සෝදා පිරිසිදු කර තෙත මාත්තු කරගන්න. මෙම සත්කාරයේ ගුණ වැඩිකරගැනීමට ප්‍රබල ප්‍රතිඔක්සිකාරක හා ශාක සංඝටක බහුල ග්‍රීන් ටී වතුර හෝ කුඩු ස්වල්පයක් මීට එක්කරගන්න.