Lanka Fashion

No 01 Online Fashion Magazine

දත් වල කහ ගතිය ඉවත්කරගැනීමට උපකාරී වන ස්වභාවික පිළියම්

හිනාවෙන්න අපි කාටවත් සල්ලි වියදම් වෙන්නේ නැහැනේ. නමුත් හිනාව ලස්සන වෙන්නේ ඔබේ දත් දෙපළ නීරෝගීව තියෙනවානම් තමයි. නිරෝගි සුදුවන් දත් දෙපළක් ඇතිකරගන්න අකමැති කවුද? නමුත්,එදිනෙදා ආහාර රටාවන් නිසා (විශේෂයෙන් ආම්ලික ආහාර, පැණි රස ආහාර, තේ,කෝපි,වයින් වැනි කසට ගතිය අධික පාන වර්ග ගැනීම නිසා) , ඒවගේම දන්ත සෞඛ්‍යය කෙරෙහි ඇති අඩු අවධානය නිසා වර්තමානයේ බොහෝ අයගේ දත් ආශ්‍රිත ගැටලු ඇතිවෙලා තිබෙනවා.
දත් දුර්වර්ණ වීම නැතිනම් කහ වීම කියන්නේත් බොහෝ දෙනා මුහුණපාන එවැනි ගැටලුවක්. මේ දේවල් නිසා විශ්වාසයෙන් කට ඇරලා හිනාවෙන්න අපහසු තරමට ඔබේ දත් ටික පරිහාණියට ලක්වෙන්නට ඉඩ තිබෙනවා. ඇතැම් පිරිස් දන්ත වෛද්‍ය ප්‍රතිකාර හරහා කෘතිම ක්‍රම මඟින් දත් සුදු කරගැනීම සඳහා යොමු වෙනවා. නමුත් ඉතින් මේවායේ මිලගණන් නම් ඉතාමත් ඉහළයි.ඔබේ නිවසේ තිබෙන ඇතැම් අමුද්‍රව්‍ය වලින් ඔබේ දත් වලට හිතකර ප්‍රතිලාභ අත්කරගන්න හැකියි කියා ඔබ දන්නවාද?මේවාට හැකියි ඔබේ දත් ස්වභාවිකවම පිරිසිදු කරවමින් දත් වල කහට ගතිය දුරු කිරීමට.

1.බේකිං සෝඩා+ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්

බේකිං සෝඩා මඟින් දත් මතුපිට කහට පැල්ලම් හොඳින් ඉවත් කරවයි.හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් මුඛයේ සිටින නරක බැක්ටීරියා විනාශ කර දමයි.මෙම අමුද්‍රව්‍ය දෙකෙන් ස්වල්පය බැගින් බඳුනකට දමා ඔබ කැමති පදමකට (ඝන හෝ දියාරු වශයෙන්) හොඳින් මිශ්‍ර කරගන්න.තෙත තද් බුරුසුවක් ගෙන මෙම මිශ්‍රණයෙන් දත් මැද පිරිසිදු කරගන්න. මෙය තේ, කෝපි වැනි කහට පාන වර්ග නිසා දත් වල ඇතිවන අවපැහැය දුරුකරගැනීමට සහය දෙයි.

2.වදකහ

වදකහ ඔබේ මුඛ සෞඛ්‍යයට ඉතා හිතකර ප්‍රතිලාභ දෙන ඖෂධීය අමුද්‍රව්‍යල් ලෙස සලකයි.දත් කැක්කුම්, විදුරුමසින් ලේ ගැලීම,දත් මුල් දියවීම වැනි ගැටලු පාලනය කරයි.එමෙන්ම දත් සුදු කරවයි.විෂබීජනාශක ගුණ බහුල නිසා මුඛයැ ගැටලු ඇතිකරන හානිකර බැක්ටීරියා විනාශ කර දමයි. තෙත් කරගත් දත් බුරුසුවට කහ කුඩු ස්වල්පයක් දමා,සාමාන්‍ය පරිදි දත් මදින්න.මිනිත්තු 2-3ක් පමණ කහ කුඩු දත් වල ‍රැ‍ඳෙන්නට තබා වතුරෙන් කට සෝදාගන්න.මෙම ක්‍රමය භාවිතයෙන් පසු සාමාන්‍ය පරිදි දත් බෙහෙත් වලින් ද දත් මදින්න.මෙම ක්‍රමය ඔබේ දත් වලට පිරිසිදු හා නැවුම් බවක් ලබාදෙයි.

3.කෙසෙල් පොතු

කෙසෙල් පලතුරක් වශයෙන් ගත් විට බොහෝ සෞඛ්‍යය ප්‍රතිලාභ සිරුරට ලබාදෙන බව අපි කවුරුත් දන්නවා. නමුත්. කසල බඳුනට දමන කෙසෙල් පොතු වලත් ඒ වගේම ප්‍රයෝජන තිබෙන බව බොහෝ අය දන්නේ නැහැ. කෙසෙල් පොතු වල පොටෑසියම්, මැග්නීසියම් වැනි ඛනිජ ලවණ බහුලයි.ඒවා ඔබේ දත් වල කහට ගතිය ඉවත්කිරීමට සහය වේ.කෙසෙල් පොත්තක ඇතුල් පැත්ත (සුදු කොටස) දත් මත තබා මිනිත්තුවක් පමණ අතුල්ලන්න.මිනිත්තු 5ක් පමණ දත් වල ‍රැ‍ඳෙන්නට හැර,සාමාන්‍ය පරිදි දත් මැද පිරිසිදු කරගන්න.සති කිහිපයක් මෙසේ කිරීමෙන් වෙනදාට වඩා ඔබේ දත් වල නීරෝගී සුදුවන් පෙනුම වැඩි වී ඇති බව ඔබටම පෙනෙන්නට පටන්ගනීවි.

4.ස්ට්‍රෝබෙරි

ස්ට්‍රෝබෙරි වල විටමින් C වලට අමතරව මැලික් අම්ල ද බහුලයි. මැලික් අම්ල දත් සුදු කිරීමට ඉහළ මට්ටමේ සහයක් ලබාදෙයි.එමෙන්ම දත් වල බැඳී ඇති කරදරකාරී මැලියම් කොටස් හොඳින් ඉවත්කරවයි.ඉදුණු ස්ට්‍රෝබෙරි ගෙඩියක් පමණ ගෙන හැන්දකින් පොඩි කරගන්න. තෙමාගත් දත් බුරුසුව මෙම මිශ්‍රණයේ ඔබා සාමාන්‍ය පරිදි දත් මදින්න.මිනිත්තු කිහිපයකට පසූ වතුරෙන් කට සෝදන්න.සති දෙකක් පමණ කිරීමෙන් හොඳ ප්‍රතිඵල දැකිය හැකියි.

5.බේකිං සෝඩා+ දත් බෙහෙත්+ලෙමන් යුෂ+පොල් තෙල්

මෙම අමුද්‍රව්‍ය වලින් ස්වල්පය බැගින් බඳුනකට එක්කරගන්න. හොඳින් කළවම් කර ඝන මිශ්‍රණයක් සකසාගන්න.මේ සඳහා ඇලුමිනියම් ෆොයිල් එකක් ද ඔබට අවශ්‍යයි. කුඩා ඇලුමිනියම් ෆොයිල් කැබැල්ලක් ගෙන මිශ්‍රණය ඊට එක්කර , එය ඔබේ දත් පේළිය ආවරණය වන සේ දත් වල සවිකරගන්න.මෙය මිනිත්තු 5-10ක් පමණ තබා, ඉවත් කරන්න. කට සෝදා පිරිසිදු කරගන්න. ඔබේ දත් වලට පිරිසිදු බවක් හා දීප්තිමත් සුසුදු පැහැයක් මින් ලැබේවි.