Lanka Fashion

No 01 Online Fashion Magazine

නියපොතු ශක්තිමත්ව හා දිගුව වර්ධනය කරගැනීමට උපකාරී වන රහස් කිහිපයක්

නීරෝගී සහ ආකර්ෂණීය නියපෙළක් තිබීම කාන්තා ඔබේ රූ සපුව වැඩිකරවන තවත් එක් ලක්ෂණයක් . කෙසේවෙතත්,අප අතරින් ඇතැම් අය නියපොතු ආශ්‍රිත යම් යම් ගැටලු වලින් පෙළෙන බව දකින්නට ලැබෙනවා. විශේෂයෙන්ම නියපොතු පළුදුවීම,පොතු ගැලවී යාම, පිපිරීම,පහසුවෙන් කැඩීයාම වැනි ගැටලු ඒ අතරින් ප්‍රධානයි.බොහෝ විට මීට හේතුව නියපොතු වලට නිසි පෝෂණයක් නොලැබීමෙන් ඒවායේ නීරෝගීබව අඩු වී යාමයි. නියපොතු වල ශක්තිමත් බව අඩුකම ඒවා හොඳින් වේගවත්ව වර්ධනය වීම අඩාල කරවයි. නියපොතු වලට හොඳින් සත්කාර කිරීමෙන් නියපොතු වල ඇතිවී තිබෙන අවලස්සන ගැටලු බොහෝ දුරට මගහරවාගන්නට හැකියි.ශක්තිමත් දිගු නියපෙළක් වේගයෙන් වර්ධනය කරගැනීමට උපකාරී වන රහස් කිහිපයක් ගැනයි අද අප ඔබට කියන්නේ.

1.මී පැණි සත්කාරය

නියපොතු සෑදි ඇත්තේ කෙරටින් නම් ඝන ප්‍රෝටීන් ස්තර ගණනාවකිනි.නීරෝගී නියපොතු මෘදු සුමුදු හා සවිමත් බවින් යුතු විය යුතු අතර ගැටිති වර්ධනයක් හෝ දුර්වර්ණ වීමකින් තොර ඒකාකාරී පැහැයකින් යුක්ත විය යුතුයි.නිය පොතු වල වේගවත් වර්ධනය සඳහා මී පැණි හොඳ සත්කාරයක්. නියපොතු වල නීරෝගි බව කෙරෙහි නියමහ කොටසේ ස්වභාවය බලපායි. එය වියළී,හම ගැලවී හෝ අධිකව හානිවී ඇත්නම් ඉන් වර්ධනය වන නියපොතු පළුදු විය හැකි ස්වභාවය වැඩියි. නියමහ ප්‍රදේශ වලට හොඳ තෙතමනයක් ලබාදිය යුත්තේ මේ නිසයි.එන්සයිම,විටමින්,ඛනිජ ලවණ, ප්‍රතිඔක්සිකාරක වැනි පෝෂක බහුල නිසා මී පැණි යනු මේ සඳහා ඇති වඩාත් හොඳ ‍තෝරාගැනීමක්. මී පැණි සම පෝෂණය කර අලුත්වැඩියාවීමට සහය වෙයි. දිලීර, බැක්ටීරියා ආසාදන වළකයි. මී පැණි තේ හැඳි 2ක් ලෙමන් යුෂ බිංදු කිහිපයක් සමඟ මිශ්‍ර කර, නියපොතු වල ගල්වා මෘදුව සම්බාහනය කරන්න. මිනිත්තු 20ක් පමණ තබා සෝදාහරින්න. දවසක් හැර දවසක් මෙම ක්‍රමය අනුගමනය කිරීමෙන් හොඳ ප්‍රතිඵලයක් ලැබේවි.

2.දොඩම් යුෂ

නියපොතු පහසුවෙන් කැඩීයාම පාලනයට නැවුම් දොඩම් යුෂ සහය වෙයි.නියපොතු වල නීරෝගී දීප්තිමත් පෙනුම නැවත ඇතිකරයි.දොඩම් යුෂ වල නිය, සම හා හිසකෙස් වල නීරෝගී වර්ධනයට වැදගත් විටමින් C බහුලයි.එමෙන්ම ෆෝලික් අම්ල ද අන්තර්ගතයි. දොඩම් යුෂ සහිත බඳුනක හෝ දොඩම් බෑවක මිනිත්තු 10ක් පමණ ඔබේ නියපොතු ඔබාගෙන ඉන්න.මෙය දිනපතා කළ හැකිනම් නියපොතු වර්ධනය වේගවත්ව සිදුවීමට හොඳ සහයක් ලැබේවි.අවසානයේ ඇඟිලි හොඳින් සෝදා පිරිසිදු කරගෙන, හොඳ මොයිෂ්චරයිසර් ස්වල්පයක් ගල්වාගන්න අමතක නොකළ යුතුයි.

3.බයෝටින් (biotin)

බයෝටින් යනු ආහාර ශක්තිය බවට පරිවර්තනය කරන්නට අපේ සිරුරට උදවු වෙන B විටමිනයක්.මේවා හිසකෙස් හා නියපොතු වල ශක්තිමත් වර්ධනයට ඉතා වැදගත් පෝෂකයක් වෙනවා.බයෝටින් අඩංගු කරල් (සප්ලිමන්ට්) නිෂ්පාදන භාවිතය අද වන විට ප්‍රචලිත වී තිබෙනවා. දිනකට එක් කරලක් බැගින් ගැනීම නියපොතු වර්ධනයට හොඳ සහයක් ලබාදෙන බව පෙන්වාදෙනවා.තැම්බූ බිත්තර,පිරිපහදු නොකළ පූර්ණ ධාන්‍ය වර්ග වල,රනිල බෝග,මල්ගෝවා,කෙසෙල්,අලිගැට පේර සහ බිම්මල් වැනි ආහාර වල මෙම විටමින් ස්වභාවිකවම අන්තර්ගත වී පවතිනවා.

4.නිතර නිතර නියපොතු වර්ණ ගැන්වීමෙන් වළකින්න

නිය ආලේපන භාවිතය අද කාලයේ ගොඩක් ජනප්‍රිය විලාසිතාවක්. නිය ආලේපන නියපොතු වලට ආරක්ෂාව දෙන බව ඇතැම් අය සිතනවා. නිය ආලේපන ඉවත් කිරීමට භාවිත කරන ‘නේල් පොලිෂ් රිමූවර්’ වලින් නියපොතු වලට යම් යම් හානි ඇතිවිය හැකි බව පෙන්වාදෙනවා. ඇතැම් රිමූවර් නිෂ්පාදන වල අඩංගු ප්‍රබල රසායනික ද්‍රව්‍ය නියපොතු අධිකව වියළී යාමට හේතුවෙයි.මේවායෙන් නියමහ කොටස් වලට ද හානිවිය හැකියි.නිතර නිතර නිය ආලේපන වර්ග වෙනස් කරමින් නියපොතු වර්ණ ගැන්වීමේදී ඒවායේ ඇති රසායනික ද්‍රව්‍ය නියපොතු තුලට කාවැදීමට ඉඩ තිබෙයි.මෙහිදී නියපොතු අවපැහැවීම,පිපිරීම,කඩතොළු ඇතිවීම හා පොතු ගැලවී යාම වැනි ගැටලු ඇතිවිය හැකියි.
ජෙල් පොලිෂ් වර්ග (manicure jel polish) නියපොතු වලට හානිකර බව ඇතැම් මෑතකාලීන අධ්‍යයන මඟින් ද පෙන්වාදෙනවා.මේවායින් නියපොත්ත දුර්වල වී යන බවයි සඳහන් වන්නේ.නිය ආලේපන භාවිතයෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටීමට අවශ්‍ය නැහැ. එහෙත් කලින් කලට නිය ආලේපන නොගල්වා නියපොතු වලට නිදහසේ වැඩෙන්නට ඉඩකඩ ලබාදෙන්නත් අමතක කරන්න එපා.

5.සුදුලූනු තෙල්

සුදුලූනු වල සැර ගන්ධය නිසා ගොඩක් අය මේ ක්‍රමයට අකමැති වෙන්න පුළුවන්. ඒ වුණත් ශක්තිමත් හා දිගු නියපෙළකට කැමති කවුරු වුණත් උත්සහ කළ යුතු අපූරු ක්‍රමයක් තමයි මේ.සුදුලූනු වල සෙලේනියම් නම් නියපොතු වර්ධනය වේගවත් කරවන ඛනිජ ලවණ බහුලයි.එමෙන්ම සුදුලූනු සාරය විෂබීජනාශක ගුණයෙන් යුතු නිසා නිය ආශ්‍රිත බැක්ටීරියා හා දීලිර වර්ධන අවදානම් වළක්වනවා.සුදුලූනු පෙති නියපොතු මත සියුම්ව ඇතිල්ලීම ද හොඳ සත්කාර ක්‍රමයක්.තෙල් සකසා ගැනීමට, ඔලිව් තෙල් ස්වල්පයක් බඳුනකට දමා ලිප තබන්න. ඊට තලාගත් සුදුලූනු බිකි කිහිපයක් දමා මිනිත්තු 10ක් පමණ බැදෙන්නට හරින්න.මිශ්‍රණය සිසිල් වීමට තබා, වෙනත් බෝතලයකට පෙරාගන්න. දිනපතා රාත්‍රීයේදි මෙම තෙල් වලින් ස්වල්පයක් නියපොතු වල තවරා , හොඳින් ඇඟිලි සම්බාහනය කරන්න. පසුදා උදෑසන අත් සෝදා පිරිසිදු කරගන්න.

6.වැස්ලින්

මින් නියපොතු වලට හොඳ තෙතමනයක් ලැබී ඒවා ශක්තිමත් වෙනවා.වැස්ලින් යනු වඩාත් ජනප්‍රියම පෙට්‍රෝලියම් ජෙලි නිෂ්පාදනයක්. නියපොතු වල දුබලතා දුරු වී ක්‍රම ක්‍රමයෙන් ඒවා ශක්තිමත් වීමට වැස්ලින් සහය දෙයි.වැස්ලින් ස්වල්පයක් නියපොතු වල ගල්වා මෘදුව අතුල්ලන්න. මිනිත්තු 5ක් පමණ තබා, සෝදාහරින්න. මේවා නියපොතු හා නියමහ මතුපිට ආරක්ෂක ස්තරයක් මෙන් ක්‍රියාකර ඒවාට අවශ්‍ය තෙතමනය සලසයි.

7.කෘතිම නියපොතු ඇලවීමේ විලාසිතා අඩුකරන්න

ගම් ගා ඇලවිය යුතු කෘතිම නියපොතු වර්ග සහ ඇතැම් විෂ රසායනික ද්‍රව්‍ය අඩංගු නිය අලේපන කලක් ගත වීමේදි ඔබේ නියපොතු අවලස්සන වීමට හේතුවිය හැකියි.නියපොතු වල දිගු බව ආකර්ෂණීය ලෙස මවා පෑවත් කෘතිම නියපොතු දීර්ඝකාලීන භාවිතය නියපොතු වලට අහිතකර බව පෙන්වාදෙනවා.මේවා ඇලවීමට භාවිත කරන ගම් නියපොත්ත දුර්වල කරන අතර එවිට ඒවා පහසුවෙන් කැඩීයාමට පටන්ගනියි.නියපොතු ඇලවී හොඳින් ‍රැ‍ඳෙන්නට අවශ්‍ය නිසා, ගම් ගෑමට පෙර නියපොතු මත පීරකින් තරමක් සූරනු ලබනවා.මින් නියපොතු මතුපිට තුනී වී ගොස් කැඩීයාමේ ප්‍රවණතාව වැඩිවිය හැකියි.
එම ගම් හා ආලේපන වල ඇති ඇතැම් රළු රසායනික ද්‍රව්‍ය නිය වටා සමේ අපහසුතා (irritation) මතුකළ හැකියි. මෙම කෘතිම නියපොතු ගලවා ඉවත් කිරීමේදී බොහෝ විට ඒවා ඇසිටෝන් වල පෙඟවීම හෝ පීරකින් සූරා ඉවත් කිරීම සිදුකරනවා.මෙය ස්වභාවික නියපොතු වලට ඉතා හානිකරවිය හැකියි. මෙවැනි විලාසිතා භාවිතය හැකිතාක් අවම කිරීම ඔබේ නියපොතු වලට වඩාත් හිතකර වේවි. ජලය මූලික (water based) කරගෙන සකසා ඇති නිය ආලේපන වර්ග භාවිතයට යොමුවන්න.

8.ඔබේ නියපොතු මෙවලමක් (tool) ලෙස භාවිත නොකළ යුතුයි!

නියපොතු වලින් යම් යම් දේවල් විවෘත කිරීම,ගැලවීම,සූරාදැමීම,පෑදීම වගේ ක්‍රියාකාරකම් නොකර සිටීම වඩාත් සුදුසුයි. ඇතැම් අවස්ථා වල එවැනි දේවල් වලින් ඔබේ නියපොතු තුවාල වීමට, හානිවීමට ඉඩ තිබෙයි. එවැනි කාර්යක් සඳහා කතුරක් ,පිහියක් හෝ වෙනත් උපකරණයක් භාවිත කරන්න.අධික වෙලාවක් නියපොතු ජලයේ පෙ‍ඟෙන්නට හැරීම ද නොකළ යුතු දෙයක්. නියපොතු පෙඟී ඇති විට ඒවා මෘදු බවින් වැඩි නිසා පහසුවෙන් නැවීයාම, කැඩීයාමට ඇති ඉඩ වැඩියි.

9.පිරිසිදු කිරීමේදි රබර් අත්වැසුම් අනිවාර්යෙන්ම පලඳින්න

නිවසේ පිරිසිදු කිරීම් කටයුතු වලදී, සේදීම් කටයුතු වලදී රබර් අත්වැසුම් භාවිත කරන්න.රසායනික ද්‍රව්‍ය අඩංගු පිරිසිදු කිරීම් දියර හා ඩිටර්ජන්ට් වැනි දෑ භාවිත වන නිසා මින් ඔබේ ඇඟිලි වලට හොඳ ආරක්ෂාවක් ලැබෙයි. පැග ගණනාවක් එක දිගට රබර් අත්වැසුම් පැලඳගෙන සිටීමත් ඔබේ නියපොතු වලට සුදුසු නැහැ. එම නිසා කාර්ය අවසන් වූ පසු ඒවා ගලවා තබා හොඳින් වේලාගන්න.