Lanka Fashion

No 01 Online Fashion Magazine

පැහැපත් සහ දීප්තිමත් සමක් සඳහා ස්වභාවික සත්කාර

මුහුණේ මලානික ස්වභාවය හා අඳුරුබව ඔබේ සමේ ආකර්ෂණීය බව අඩුකළ හැකියි.ආතතිය,දුම්බීම, මත්පැන් පනය හා සෞඛ්‍යයට අහිතකර ආහාර පාන පරිභෝජනය, සමේ පිරිසිදුබව ගැන සැලකිලිමත් නොවීම, හොඳින් වතුර පානය නොකිරීම, සමට හොඳින් සත්කාර නොකිරීම වැනි හේතු ඊට බලපෑ හැකියි. පැහැපත් හා නීරෝගී දීප්තිමත් බවක් සමට ලබාගැනීමට ඇතැම් ස්වභාවික ප්‍රතිකර්ම අපට ප්‍රතිලාභ ලබාදෙයි. සතියකට දෙතුන් වරක් පමණ මෙම සත්කාර අනුගමනය කිරීමෙන් ඔබට හොඳ ප්‍රතිඵලයක් දැකගත හැකිවේවි.

1.කහ + කඩල පිටි + රෝස වතුර

කඩල පිටි මේස හැඳි 1ක් සහ කහ කුඩු මේස හැඳි 1/4ක් පමණ බඳුනකට දමා රෝස වතුර එක්කරමින් ඝන මිශ්‍රණයක් වන තුරු කළවම් කරන්න.පිරිසිදු කරගත් මුහුණ මත මෙය ගල්වන්න. මිනිත්තු 20ක් පමණ මුහුණේ ‍රැ‍ඳෙන්නට හැර උණුසුම් වතුරින් මුහුණ සෝදන්න.විෂබීජනාශක හා ප්‍රතිජිවක ගුණයෙන් යුතු කහ සමට හොඳ ආරක්ෂාවක් සලසයි. ආසාදන හා වෙනත් චර්ම ගැටලු ලක්ෂණ පාලනය කරයි.එවැනි තත්වයන් යළි යළි මතුවීම වළක්වයි.සම මෘදු කරවයි. කැලැල් දුරුකරමින් සම පැහැපත් හා දීප්තිමත් කරයි.කහ තේ හෝ කිරි ලෙස සකසා පානය කිරීම ද සිරුර නොයෙකුත් ලෙඩ රෝග වලින් ආරක්ෂා කරගැනීමට මෙන්ම සමට බොහෝ ප්‍රතිලාභ ලබාදෙන ක්‍රමයකි.මෙය කුළුබඩුවක් ලෙස ආහාර පාන වලට එක්කිරීමෙන් ඒවායේ පෝෂණ ගුණය වැඩිකරගත හැකියි.කඩල පිටි සමේ මැරුණු සෛල හොඳින් ඉවත් කර සම ගැඹුරින් පිරිසිදු කරයි.සමේ රළු බව දුරුකරයි.බාහිර සත්කාර වර්ග සමට හොඳින් උරාගැනීමට හැකි වන සේ සම මෘදු සුමුදු කරයි.රෝස වතුර යනු සම සිසිලන ගුණ ඇති ඖෂධීය අමුද්‍රව්‍යකි. සමේ විවෘත වී ඇති සිදුරු හොඳින් පිරිසිදු කර ඒවා හොඳින් වසාදමයි.

2.හාල් පිටි + සුදුහඳුන්

හාල් පිටි මේස හැඳි 1ක් සහ සුදුහඳුන් කුඩු මේස හැඳි 1ක් බඳුනකට දමා රෝස වතුර දමා මිශ්‍රණයක් සකසාගන්න.මෙය පිරිසිදු කරගත් මුහුණේ හොඳින් ආලේප කරගන්න.මිනිත්තු 5ක් පමණ මුහුණ සහ බෙල්ල ප්‍රදේශය ඇඟිලි තුඬු වලින් සියුම්ව සම්බාහනය කරගන්න.පසුව හොඳින් වියළෙන තුරු තබා, උණුසුම් වතුරෙන් මුහුණ සෝදා පිරිසිදු කරගන්න.හාල් පිටි සමේ මැරුණු සෛල ස්තරය හොඳින් ඉවත්කරවයි.සුදුහඳුන් වල ඖෂධීය ගුණ අහිතකර හිරු කිරණින් සමට වූ හානි සමනය කරයි. සමේ අඳුරු ලප කැලැල් දුරු කරමින් සමේ නීරෝගී පැහැපත් බව වඩවයි.

3.පොල් කිරි + තක්කාලි පෙති

පොල් කිරි කෝප්ප 1/4ක් බඳුනකට දමන්න. එයට සිහින්ව කපාගත් තක්කාලි පෙති කිහිපයක් එක්කරන්න.කිරි වල පොඟවාවත් තක්කාලි පෙති එක බැගින් ගෙන මුහුණේ අතුල්ලන්න. මෙසේ කළ පසු මිනිත්තු 30ක් පමණ ඒවා සම මත තබාගෙන ඉන්න.පසුව උණුසුම් වතුරෙන් සම සෝදන්න.තක්කාලි වල ඇති එන්සයිම සමේ අඳුරු කැලැල් දුරුලමින් සමේ අවපැහැය දුරුකරයි. පොල් කිරි සමට ස්වභාවික දීප්තියක් ගෙනදෙයි.

4.අමු මී පැණි + වියළි කහ

අමු මී පැණි මේස හැඳි 2ක් සහ වියළි කහ තේ හැඳි 1/2ක් බඳුනක මිශ්‍ර කරන්න.පිරිසිදු කරගත් මුහුණ මත තුනී තට්‍ටුවක් ලෙස මෙය ආලේප කරගන්න.මිනිත්තු 10-15ක් පමණ තබා ,සාමාන්‍ය වතුරෙන් සෝදාහරින්න.
මෙම සත්කාරය බැක්ටීරියානාශක ගුණයෙන් හා සම සුවපත් කිරීමේ ගුණයෙන් යුක්ත නිසා තෙල් සහිත හා කුරුලෑ බහුල සමකට ඉතා හොඳ ප්‍රතිකාරයකි.

5.කෝමාරිකා + කෝපි කුඩු

කෝමාරිකා මද මේස හැඳි 2ක් සහ කෝපි කුඩු මේස හැඳි 1ක් බඳුනක මිශ්‍ර කරගන්න.මුහුණේ ආලේප කර මිනිත්තු 20ක් පමණ තිබෙන්නට හරින්න. පසුව උණුසුම් වතුරෙන් මුහුණ සෝදන්න.පසුව ඔබේ සමට ගැළපෙන හොඳ මොයිෂ්චරයිසර් එකක් භාවිත කරන්න.කෝමාරිකා වල සම පැහැපත් කරවන ගුණාංග බහුලයි. සමට හොඳින් තෙතමනය දී සම ‍රැළි වැටීම පාලනය කරයි.ලප කැලැල් දුරුකරයි.සම සවිමත් කරවයි. කෝපි මඟින් සමේ මැරුණු සෛල හොඳින් ඉවත් කර සම පිරිසිදු කරයි.සමට දීප්තියක් ලබාදෙයි.

6.ඇක්ටිවේටඩ් චාකෝල්+ කෝමාරිකා මිශ්‍ර වතුර

ඇක්ටිවේටඩ් චාකෝන් (සක්‍රීය අඟුරු) මේස හැඳි 2ක් කෝමාරිකා මිශ්‍ර වතුර මේස හැඳි 2ක් සමඟ මිශ්‍ර කරන්න. මෙය පිරිසිදු කරගත් මුහුණේ ආලේප කර මිනිත්තු 15ක් පමණ වියළෙන්නට හරින්න.පසුව සාමාන්‍ය වතුරෙන් මුහුණ සෝදන්න.
මෙම සත්කාරය මුහුණේ සිදුරු පිරිසිදු කරයි. බ්ලැක්හෙඩ්ස් වැනි ගැටලු දුරුකරයි. සමේ අවපැහැය අඩුකරවයි.සමට ක්ෂණීක දීප්තියක් ලබාදෙයි. කෝමාරිකා මඟින් සමට හොඳ තෙතමනයක් ලැබේ.

7.යෝගට් + මී පැණි

යෝගට් මේස හැඳි 2 සහ අමු මී පැණි මේස හැඳි 2ක් එකට මිශ්‍ර කරන්න. මෙය මුහුණේ ආලේප කර මිනිත්තු 20ක් පමණ තබා මද උණුසුම් වතුරෙන් සෝදාහරින්න.හැකිනම් ‍රැයක් පුරා තිබෙන්නට හරින්න.මෙය ඔබේ සමට තෙතමනය දී සමට ආකර්ෂණීය පැහැපත් බවක් ලබාදෙයි. ලැක්ටික් අම්ල සහ ඇල්ෆා හයිඩ්‍රොක්සි අම්ල බහුල සත්කාරයක් නිසා සමේ මැරුණු සෛල හොඳින් දියකර හරිමින් සමෙන් ඉවත් වීම පහසු කරවයි. සමට නීරෝගී දීප්තිමත් බවක් ලබාදෙයි.