Lanka Fashion

No 01 Online Fashion Magazine

මුහුණේ අනවශ්‍ය රෝම වර්ධනය වීම පාලනය කරගැනීමට ස්වභාවික ක්‍රම

මුහුණේ රෝම පිහිටීම කා තුළත් පොදු සාමාන්‍ය තත්වයක්. ඒ වුණත්, ඇතැම් අයගේ මුහුණු වල කළු ඝනකම් රළු රෝම වර්ධනය වී ඇති ආකාරයක් දකින්නට ලැබෙයි. බොහෝ විට මේ තත්වයට හේතුවන්නේ හෝර්මෝන අසමතුලිතවීමය. කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ තත්වය තමන්ගේ මුහුණේ සුන්දරත්වයට බාධාවක් කියලා.එසේ රෝම කූප වර්ධනය වීම සෞඛ්‍යයට හානිකර නොවුණත් කෙනෙකුට ඒවා ඉවත්කරගැනීමට හැකියාව තිබෙනවා. ලේසර් කිරීම හෝ වැක්ස් කිරීම වගේ ක්‍රම ඊට උදාහරණයි.ඊට අමතරව මේ ගැටලුව ඵලදායි ලෙස අඩුකරගැනීමට උපකාරී වන ස්වභාවික ක්‍රම කිහිපයක් ගැනයි අද අප ඔබව දැනුවත් කරන්නේ.

1.කහ+කඩල පිටි+ ලෙමන් යුෂ+ සුදුහඳුන්

කඩල පිටි තේ හැඳි 3ක්, කහ කුඩු තේ හැඳි 2ක් සහ ලෙමන් ගෙඩි බාගයක යුෂ බඳුනකට දමන්න. සුදුහඳුන් කුඩු ස්වල්පයක් ඇඟිලි තුඬු දෙකින් ගෙන ඊටම මිශ්‍ර කරන්න.මෙය හොඳින් මිශ්‍ර කළ පසු ,පිරිසිදු කරගත් මුහුණේ ආලේප කරගන්න.මිනිත්තු 20ක් පමණ වියළෙන තුරු තබා, සාමාන්‍ය වතුරෙන් මුහුණ සෝදා පිරිසිදු කරගන්න.තුවායකින් තෙත මාත්තු කරගන්න.මෙය දිනපතාම මාසයක් පමණ ගතවනතුරු ආලේප කරන්න.මෙම සත්කාරය මඟින් රෝම කූප ප්‍රමාණයෙන් තුනී කර ඒවායේ වැඩීම බාල කරවයි. සමට පැහැපත් හා මෘදු සුමුදු බවක් ලැබේ.

2.සීනි භාවිතයෙන් කරන ‘ෂුගරිං ක්‍රමය’ (sugaring)

ලෙමන් ගෙඩි බාගයක යුෂ බඳුනකට එක්කරන්න. ඊටම සීනි මේස හැඳි එකක් දමා,වතුර ස්වල්පයක් ද සමඟ ඝන මිශ්‍රණයක් සාදාගන්න.මෙය සමේ ආලේප කර අතුල්ලන්න. මෙම සත්කාරය මඟින් සමේ මැරුණු සෛල හොඳින් ඉවත්කර සම පිරිසිදු කරයි.මුහුණේ රෝම රහිත පෙනුමක් ඇතිවේ (මෙය සති 6ක් පමණ කාලයක් බොහෝ විට පවතියි).මේ සඳහා ඔබ ‍තෝරාගන්නා සීනි වල කැටිති ස්වභාවය වඩාත් විශාල ඒවා නොවිය යුතු බව මතක තබාගන්න. එය සමට රළු විය හැකියි.

3.මී පැණි +ලෙමන් යුෂ

ලෙමන් යුෂ තේ හැඳි 1ක් සහ මී පැණි මේස හැඳි එකක් එකට දමා මිශ්‍ර කරන්න.හොඳින් මිශ්‍ර කර මුහුණේ ගල්වා, මිනිත්තු 20ක් පමණ තිබෙන්නට හරින්න.නැප්කින් එකක් උණුසුම් වතුරේ පොඟවා අතිරික්ත තෙත මිරිකා හරින්න.දැන්, මෙය නැප්කින් එකෙන් සමේ ගැල්වූ ආලේපනය පිසදමන්න. පසුව සීතල වතුරෙන් මුහුණ සෝදන්න.මී පැණි සම පැහැපත් හා දීප්තිමත් කරයි. අඳුරු කැලැල් දුරුකරයි.සමට තෙතමනය සලසයි.එමෙන්ම සමේ අනවශ්‍ය රෝම වර්ධනය බොහෝ දුරට අඩුකිරීමේ විශේෂ හැකියාව ද මී පැණි සතුයි.සතියකට වාර 3ක් පමණ මෙම සත්කාරය සිදුකරන්න.

4.මුං ඇට + රෝස වතුර

මුං ඇට පිටි මේස හැඳි 2ක්, රෝස වතුර මේස හැඳි 1ක් හෝ 2ක් සහ ලෙමන් යුෂ මේස හැඳි 1ක් බඳුනක මිශ්‍ර කරන්න.සමේ රෝම වර්ධනය වී තිබෙන ස්ථාන වල ආලේපය ගල්වාගන්න.සම්පූර්ණයෙන්ම වියළෙන තුරු මිනිත්තු 20-25 ක් පමණ සම මත තිබෙන්නට හරින්න.ඇඟිලි තුඬු වලින් මාස්ක් එක අතුල්ලා ඉවත්කරගන්න.මෙම සත්කාරය සතියකට වාර 3-4 ක් පමණ සිදුකරන්න. මුං ඇට පිටි වල සමේ මැරුණු සෛල ඉවත්කිරීමේ ගුණය ඇති අතර රෝස වතුර සමඟ මිශ්‍ර කර භාවිතා කිරීමෙන් සමේ අනවශ්‍ය රෝම වර්ධනය වීම වළක්වාගත හැකියි. මෙම සත්කාරය ඕනෑම සමකට සුදුසුයි.

5.ජෙලටින් + එළකිරි

ජෙලටින් මේස හැඳි 1ක්, එළකිරි මේස හැඳි 3ක්,ලෙමන් යුෂ බිංදු කිහිපයක් බඳුනකට දමා හොඳින් කලවම් කරගන්න.මිශ්‍රණය මයික්‍රෝවේව් උඳුනකට දමා තත්පර 15-20 ක් පමණ රත්කරගන්න. නැතිනම් පළමුව එළකිරි සමඟ ජෙලටින් ඩබල් බොයිල් ක්‍රමයට උණුකරගෙන පසුව ලෙමන් යුෂ එක්කරගන්න. මිශ්‍රණය සිසිල් වන තුරු තබා මුහුණේ ගල්වාගන්න.මාස්ක් එක මුහුණ මත මිනිත්තු 5 ක් පමණ තිබෙන්නට හරින්න. වියළුණු පසු ඇඟිලි තුඬු වලින් මාස්ක් එකේ පොතු ඉවත්කරගන්න. මෙය ඔබට අවශ්‍ය පරිදි නිතර සිදුකල හැකියි.මේ ක්‍රමය අනවශ්‍ය රෝම ක්ෂණිකව ඉවත්කරගත හැකි තවත් පීල්-ඕෆ් ක්‍රමයකි. ඔබේ මුහුණේ බ්ලැක්හෙඩ්ස් සහ මැරුණු සෛල හොඳින් ඉවත්කරගැනීමට ද උපකාර කරයි. සංවේදි සමක් ඇති සහ කුරුලැ සහිත සමකට හැර වෙනත් ඕනෑම සමකට සුදුසු සත්කාරයකි.

6.බිත්තර + කෝන් පිටි

බිත්තර සුදුමද 1ක්,කෝන් පිටි මේස හැඳි 1/2ක්, සීනි මේස හැඳි 1ක් බඳුනකට එක්කර, මෘදු මිශ්‍රණයක් වන තුරු හොඳින් කලවම් කරගන්න.මිශ්‍රණය මුහුණ මත ගල්වා මිනිත්තු 20-25 ක් පමණ වියළෙන තුරු සම මත තිබෙන්නට හරින්න.වියළුණු පසු, මාස්ක් එකේ පොතු ඉවතට අදිමින් මුහුණ පිරිසිදු කරගන්න. මෙය සතියකට වාර 2-3 ක් පමණ සිදුකරන්න.බිත්තර සුදුමද රෝම කූප තුල ඇලවි ඝන තට්‍ටුවක් සේ වියළුණු පසු හොඳින් රෝම කූප ඉවත්කර දමයි. මෙය වැක්ස් සත්කාරයට සමාන ප්‍රතිඵල ලබාදේ.සංවේදි සහ කුරුලෑ සම හැර අනෙකුත් ඕනෑම සමකට සුදුසුයි.