Lanka Fashion

No 01 Online Fashion Magazine

වැළමිට,දණහිස් සහ කිහිලි ප්‍රදේශයේ කලු පැහැති ස්වභාවය දුරුකරගැනීමට ස්වභාවික පිළියම් ක්‍රම

වැළමිට, දණහිස් හා කිහිලි ප්‍රදේශයේ සම අඳුරු ස්වභාවයක් ගැනීම බොහෝ කාන්තාවන් තුළ දක්නට ලැබෙන පොදු ගැටලුවක්.මැරුණු සම එකතුවීම,සම පෘෂ්ඨ මත ඇතිල්ලීමෙන් සම හානිවීම (රේසර් භාවිතය වැනි), හොඳ සන්ක්‍රීම් එකක් භාවිත නොකිරීම සහ අධික ලෙස හිරු කිරණට නිරාවරණය වීමෙන් සම පිලිස්සී හානිවිම, හයිපර්පිග්මන්ටේශන් තත්වය,හෝර්මෝන අසමතුලිතතා වැනි හේතු ඊට බලපෑ හැකියි.ඇතැම් අයට මෙය ජානමය බලපෑමින් ද තිබිය හැකියි. මෙම ප්‍රදේශ වල සමේ අඳුරු බව ඇතැම් විට ඔබේ මනසට වදදෙන ගැටලුවක් වී තිබෙනට පුළුවන්.මෙය කිසිඳු හානියක් නොමැති සාමාන්‍ය තත්වයක්,කෙසේවුවත් සමේ අඳුරු බව බොහෝ හොඳින් දුරුකරගැනීමට ඔබට යම් යම් ඉපැරණි පිළියම් ක්‍රම අනුගමනය කළ හැකියි.මෙම සත්කාර ඔබේ සම පෝෂණය කරමින් එහි ඇති අඳුරු පැහැ ස්වභාවය ඉවත්කරදමයි.

1.ලෙමන් යුෂ

ලෙමන් ගෙඩි බාගයක යුෂ ,කඩල පිටි මේස හැඳි 1, සහ කහ තේ හැඳි 1/4ක් පමණ බඳුනකට දමා මිශ්‍ර කරන්න. මෙය කිහිලි, වැළමිට ,දණහිස් මෙන්ම අඳුරු වී ඇති ගෙළ ප්‍රදේශයේ සම මත ආලේප කරන්න.මිනිත්තු 20-30ක් පමණ වියළෙන්නට හැර, මද උණුසුම් වතුරෙන් සම පිරිසිදු කරගන්න.ලෙමන් යුෂ වල විටමින් C සහ සිට්‍රික් අම්ල බහුල නිසා සමට හොඳ පෝෂණයක් හා ආරක්ෂාවක් ද ලැබේ. එහි ස්වභාවික බ්ලීචිං ගුණාංග බහුලයි. කඩල පිටි වල මැරුණු සම හොඳින් ඉවත් කර සම පිරිසිදු කරයි. සමට ප්‍රාණවත් බවක් ලබාදේ.කහ මඟින් සමේ අඳුරු පැහැයට හේතුවන මෙලනින් වර්ණක අධිකව නිපදවීම අඩුකරවයි.විෂබීජනාශක ගුණයෙන් අනූන නිසා සම ආසාදන වලින් ආරක්ෂා කරයි. සතියකට දෙවරක් පමණ මෙය කරන්න.
ඔබට ඇත්තේ වියළි සමක් නම්, මේ ක්‍රමය ඔබට වඩාත් සුදුසුයි.ලෙමන් ගෙඩි බාගයක් මී පැණි ස්වල්පයක ඔබා, සම මත එය හොඳින් අතුල්ලන්න (ස්ක්‍රබ් කරන්න).මෙම සත්කාරය සමේ අඳුරු බව දුරු කර පැහැපත් බවක් ලබාදේ. සම මෘදු සුමුදු කරයි. සමේ පැහැය ඒකාකාරී කරයි.ඖෂධීය මී පැණි මෙම ප්‍රතිලාභ සමට ලබාදේ.

2.කෝමාරිකා

රේසර්යක් රළු ලෙස සම මත භාවිත කිරීම සමේ කසනසුලු බවක් ඇති කරවයි. මෙම අඛණ්ඩ ඝර්ෂණය (ඇතිල්ලීම) සමේ සුලු කැපුම් ඇතිකළ හැකියි.එම හානි වූ සෛල වෙනුවට සම අළුත්වැඩියා වන්නේ අඳුරු පැහැති වර්ණක සෛල වලිනි (මෙලනින්). මෙය අප සාමාන්‍යයෙන් හඳුන්වන්නේ හයිපර්පිග්මන්ටේශන් තත්වය කියායි.මේ තත්වය වළක්වාගැනීමට එවැනි ක්‍රම භාවිතයෙන් පසු සමට හොඳ තෙතමනයක් ලැබෙන ආකාරයේ නිෂ්පාදනයක් භාවිත කරන්න. කෝමාරිකා ඊට හොඳ විසඳුමක්.රේසර් කළ පසු කෝමාරිකා මද හෝ ජෙල් ස්වල්පයක් කිහිළි, වැළමිට,දණහිස් ආශ්‍රිතව ගල්වන්න.මින් සම සංවේදීවීම පාලනය කරයි. සම ඉදිමීම, බිබිලි මතුවීම (razor bumps) වළක්වයි.සමට මෘදු සුමුදු බවක් ලබාදේ. කෝමාරිකා මද සමේ කැලැල් ස්වභාවයන් දුරුකරයි. සම සුවපත් කරයි.

3.බේකිං සෝඩා

බේකිං සෝඩා සහ එළකිරි සමාන ප්‍රමාණයන්ගෙන් ගෙන බඳුනකට දමා මිශ්‍ර කරන්න.වැළමිට, දණහිස් වල දිනපතා ආලේප කර මිනිත්තු 5ක් පමණ මෘදුව සම්බාහනය කරන්න.කිහිලි ප්‍රදේශය සඳහා බේකිං සෝඩා මේස හැඳි 2ක්,පොල් තෙල් මේස හැඳි 2-3ක් පමණ මිශ්‍ර කර කිහිළි වල ගල්වා මෘදුව සම්බාහනය කරන්න. කිහිලි ප්‍රදේශයේ දහඩිය දුගඳ පාලනය කරගැනීමට ලැවෙන්ඩර්, පෙපර්මින්ට්, ලෙමන්ග්‍රාස් (සේර),ටී ට්‍රී වැනි සගන්ධ තෙල් වර්ගයකින් බිංදු කිහිපයක් මීට මිශ්‍ර කරගන්න. මිනිත්තු 15ක් පමණ තබා,සම පිරිසිදු කරගන්න.බේකිං සෝඩා වල ස්වභාවික බ්ලීචිංකාරක සහ සමේ මැරුණු සෛල ඉවත් කිරීමේ ගුණාංග බහුලයි.එමෙන්ම සමේ අඳුරු වර්ණක හෙවත් මෙලනින් නිෂ්පාදනය අඩුකරවයි.ඒ හරහා සමේ අඳුරු බව දුරුකරයි. මැරුණු සමඟ අඳුරු ලප කැලැල් සමෙන් ඉවත්කිරීම පහසු කරවයි. එළකිරි වල ඇති ලැක්ටික් අම්ල සමේ තද අඳුරු පැහැති බව මතුපිටට පෙනෙන ස්වභාවය බොහෝ හොඳින් අඩුකරවයි.සමේ පැහැය වඩවයි. සම ප්‍රාණවත් කරයි.එහි අඩංගු ප්‍රෝටීන් ,විටමින් හා ඛනිජලවණ සම පෝෂණය කරයි. පොල් තෙල් වල ඇති ප්‍රතිඔක්සිකාරක මඟින් සමේ පැහැය ඒකාකාරී කරවයි.

4.කෝපි

කෝපි කුඩු සහ පොල් තෙල් සමාන ප්‍රමාණ වලින් ගෙන මිශ්‍ර කර, වැළමිට සහ දණහිස් වල ආලේප කර මෘදුව සම අතුල්ලන්න.මිනිත්තු 30ක් පමණ තිබෙන්නට හැර උණුසුම් වතුරෙන් සම පිරිසිදු කරගන්න.සතියකට එක්වරක් මෙය කරන්න.
සමේ අඳුරු ලප කැලැල්, පිග්මන්ට් තත්වයන් දුරුකරගැනීමට කෝපි වල අඩංගු ගුණාංග බෙහෙවින් උපකාරී වේ.සමේ මැරුණු සෛල ඉවත් කර සමේ සිදුරු පිරිසිදු කරයි. එමඟින් අඳුරු ස්වභාවය අඩුවීම පහසු කරවයි.සම පැහැපත් හා දීප්තිමත් කරයි.සමේ පැහැය ඒකාකාරි කරයි.

5.සීනි

සීනි මේස හැඳි 1ක් සහ මී පැණි මේස හැඳි 1ක් මිශ්‍ර කර, වැළමිට, දණහිස් හා කිහිලි වල ගල්වා මෘදුව සම අතුල්ලන්න. මිනිත්තු 15ක් පමණ එසේ කරන්න. මෙය සතියකට 3 වරක් පමණ කිරීමෙන් හොඳ ප්‍රතිඵලයක් දැකගත හැකිවේවි.
සීනි වල කැටිති ස්වභාවය සමේ එකතු වී ඇති මැරුණු සෛල, කුණු දුහුවිලි, බැක්ටීරියා හොඳින් ඉවත්කරවයි. සමට මෘදු බවක් ලබාදේ.සම සුවපත් වීමට හා සමේ සෛල නැවතවර්ධනයට සහය වේ.සංවේදී සමකට ද ඉතා සුදුසු සත්කාරයකි.මී පැණි සමට හොඳ තෙතමනයක් හා පෝෂණයක් ලබාදී සමේ අඳුරු පැහැති බව දුරුකරවයි. කැලැල් සුවපත් කරයි.

6.අර්තාපල්

අර්තාපල් අලයක් ග්‍රේට් කර ඉන් යුෂ ලබාගන්න. ඒවා සම මත ආලේප කරන්න.සම මත මිනිත්තු 15 ක් පමණ තිබෙන්නට හැර ජලයෙන් සෝදා ඉවත්කරගන්න.සම මත මොයිෂ්චරයිසර් ක්‍රීම් ස්වල්පයක් ආලේප කරගන්න.අල පෙති ලෙස කපා දණහිස් සහ වැළමිට ප්‍රදේශ වල මිනිත්තු 10-15 ක් පමණ හොඳින් අතුල්ලමින් ජලයෙන් සෝදා ඉවත් කරගන්න.අර්තාපල් වල කැටිකොලේස් එන්සයිම ‍රැසක් අඩංගුවන නිසා සම ස්වභාවිකවම පැහැපත් කරවයි. දිනපතා සමට අර්තාපල් සත්කාරයක් ලබාදීමෙන් සම වඩාත් සුමුදුවීම මෙන්ම සමේ අඳුරු පැහැ ස්වභාවය ඉක්මනින් ඉවත්වී යයි.

*බෙල්ල ඇතුළු සමේ මෙවැනි ස්ථාන වල සම අධික අඳුරු පැහැයකට පත්වී (කලු වී) ඇත්නම්,ඇතැම් විට එය වෙනත් සෞඛ්‍ය ගැටලුවක සංඥා පෙන්නුම් කිරීමක් විය හැකි බැවින් චර්ම වෛද්‍යවරයෙකු වෙත යොමුවීම වඩාත් සුදුසුයි.