Lanka Fashion

No 01 Online Fashion Magazine

සමේ තරුණබව ‍රැකගැනීමට උපකාරී වන ඔබේ මුළුතැගෙයි ඇති අපූරු අමුද්‍රව්‍ය කිහිපයක්

සමේ තරුණ බව හා සුන්දරත්වය ‍රැකගැනීමට අධිකව මුදල් වියදම් කරමින් රූපලාවන්‍ය නිෂ්පාදන වර්ග හෝ සත්කාර ක්‍රම කළ යුතු නැහැ. ඔබේ සමට බොහෝ ඉහළ මට්ටමේ ප්‍රතිලාභ දෙන ,සමට හිතකර අමුද්‍රව්‍ය ‍රැසක්ම ඔබේ මුළුතැන්ගෙයින් සොයාගත හැකි බව ඔබ දන්නවා ද? ඔබේ මුහුණේ තරුණ පෙනුම ‍රැකගන්න උදවු වෙන එවැනි ස්වභාවික නිෂ්පාදන කිහිපයක් ගැනයි අද අප ඔබව දැනුවත් කරන්නේ. මෙම අමුද්‍රව්‍ය ඔබේ සම වියළීම වළකා සමට තෙතමනය සලසයි.සම ගැඹුරින් පෝෂණය කරයි.සමේ මලානික අඳුරු බව දුරුකරමින් සමට පැහැපත් බවක් ලබාගැනීමට සහය දේ.ලප කැලැල් මතුපිටට පෙනෙන ස්වභාවය ද දුරලයි.

1.එළකිරි

සමට හිතකර විටමින් B6,B12 හා විටමින් D මෙන්ම ලැක්ටික් අම්ල ද එළකිරි වල බහුලයි.දිනකට දෙවරක් එළකිරි වලින් සම පිසදැමීමෙන් සමට ඒකාකාරී පැහැපත් බවක් ලබාගැනීම හා සමට හොඳ තෙතමනයක් ලබාගැනීම පහසු වේ.මෙය නිතිපතා කිරීමෙන් සමේ වියළි බව දුරුවේ. සම මෘදු හා සුසුදු වේ.

2.අලිගැට පේර

සමේ තරුණ පෙනුම ‍රැකගැනීමට උපකාරී වන ප්‍රතිඔක්සිකාරක , විටමින් C,E ,හිතකර මේද සහ කොලැජන් වැනි පෝෂක මේවායේ බහුලයි.ඉදුණු අලිගැට පේර ගෙඩියක මද සූරා හොඳින් පොඩි කර මුහුණේ ගල්වන්න. මිනිත්තු 20කට පමණ පසු මුහුණ සෝදන්න.නින්දට පෙර අලිගැට පේර තෙල් ස්වල්පයක් මුහුණේ ගැල්වීම ද හොඳ රූපලාවන්‍ය උපක්‍රමයකි.

3.මී පැණි

මී පැණි වල සමේ තෙතමනය රඳවාගැනීමේ හැකියාව ඉහළයි.බැක්ටීරියානාශක ගුණයෙන් ද අනූන නිසා සම ආසාදන වලින් ආරක්ෂා කරයි. සමේ ගැටලු සුවපත් කරයි.මුහුණ සේදූ පසු මී පැණි ස්වල්පයක් මුහුණේ ගල්වන්න.මෙය නිතිපතා කිරීමෙන් සමේ මෘදු මොළොක් බව වැඩිවෙයි. ‍රැළි වැටීම වැනි අකලට සම වියපත් වීමේ ලක්ෂණ පාලනය වේ. ප්‍රතිප්‍රදාහක ගුණ ඇති නිසා සමට ප්‍රාණවත් බවක් ගෙන දී සමේ ස්වභාවික දීප්තිය වඩවයි.

4.ඔලිව් තෙල්

කෙස්කලඹට මෙන්ම සමට ද ඔලිව් තෙල් ඉතා ගුණදායකයි.ක්ලෙන්සර් හා මොයිෂ්චරයිසර් නිෂ්පාදන වලට මූලික අමුද්‍රව්‍යක් ලෙස ඔලිව් තෙල් භාවිත කරයි.ඔලිව් තෙල් කිහිපයක් සමේ ගැල්වීමෙන් සම වියළීම පාලනය කරගත හැකියි.මින් සමට තෙතමනය ලැබේ.අධික තෙල් ගතියක් මතුපිටට නොපෙනෙන නිසා භාවිතය පහසුයි.ඔලිව් තෙල් ස්වල්පයක් ලුණු කුඩු සමඟ මිශ්‍ර කර මුහුණේ මැරුණු සම ඉවත්කරන ස්ක්‍රබ් එකක් ලෙස භාවිත කළ හැකියි.ඔලිව් තෙල් වල ඇති ප්‍රතිඔක්සිකාරක සම ‍රැළි වැටීම අඩුකරවයි.

5.දොඩම් යුෂ

විටමින් C බහුල මෙම දොඩම් යුෂ හොඳ විෂහරණ පානයක්.මේවා පානය කිරීම මඟින් සමට ඇතුළාන්තයෙන්ම පෝෂණය ලැබී සම නීරෝගී වේ.දොඩම් පොතු කිහිපයක් රෝස වතුර සමඟ අඹරා මුහුණේ ගල්වන්න.මිනිත්තු 15ක් පමණ තබා සෝදාහරින්න.මෙය සම සවිමත් කර එල්ලාවැටීම පාලනය කරයි.සමේ වස විස ද්‍රව්‍ය දුරුකර සම නීරෝගී කරයි.

6.කහ

සමට හිතකරම කුළුබඩු අතරින් ප්‍රධාන තැනක් හිමිවන කහ වල කර්කියුමින් නම් ප්‍රබල ප්‍රතිප්‍රදාහක හා ප්‍රතිඔක්සිකාරක සංඝටක අඩංගුයි.විෂබීජනාශක ගුණයෙන් ද යුක්ත නිසා සම පිරිසිදු කරයි. සමේ ගැටලු සුවපත් කරයි. කඩල පිටි වලට කහ සහ එළකිරි ස්වල්පයක් මිශ්‍ර කර පේස්ට් එකක් සාදාගන්න. මෙය සබන් වෙනුවට භාවිත කරන්න.මින් සමට හොඳින් තෙතමනය ලබාදී සමේ මැරුණු සෛල ගැඹුරින් ඉවත්කර පිරිසිදු කරයි.මීට අමතරව කහ සමඟ මී පැණි ස්වල්පයක් මිශ්‍ර කර මාස්ක් එකක් ලෙස සමේ ගැල්වීමට ද හැකියි.මෙය කුරුලෑ,බිබිලි,පලු ,තුවාල වැනි සමේ ගැටලු සුවපත් කරයි.

7.ආමන්ඩ්

නිතිපතා ආමන්ඩ් ඇට පරිභෝජනය කිරීමෙන් සම ‍රැළි වැටීම බොහෝ හොඳින් පාලනය කරගත හැකි බව අධ්‍යයන වල සඳහන්.මේවායේ සම නීරෝගි කරවන ඔමේගා-3 මේද අම්ල,ප්‍රතිඔක්සිකාරක,විටමින් E වෙනත් ඛනිජ වලණ බහුලයි.දිනපතා ආමන්ඩ් තෙල් ස්වල්පයක් මුහුණේ ගල්වා සම්බාහනය කරන්න.මින් සමේ ‍රැළි රේඛා වර්ධනය වීම වළක්වන අතර සමේ ස්වභාවික දීප්තිමත් බව ද ආරක්ෂා වේ.ආමන්ඩ් ඇට කිහිපයක් වතුරේ පෙ‍ඟෙන්නට හැර එළකිරි වලින් අඹරා මුහුණේ ගැල්වීම ද සමේ තරුණ පෙනුම ‍රැකගැනීමට උපකාරී වන අපූරු රූ රහසක්.

8.සීනි

අධික සීනි පරිභෝජනය ඔබේ සිරුරට වගේම සමට ද ඉතා අහිතකරයි. මින් සම අකලට වියපත් වීම වේගවත් විය හැකි බව ඇතැම් අධ්‍යයන මඟින් සොයාගෙන තිබෙනවා.නමුත් බාහිර සත්කාරයක් ලෙස සීනි සමට භාවිත කිරීම කළ හැකියි. සමේ මැරුණු සෛල ඉවත් කර සම පිරිසිදු හා මෘදු කරවයි.යෝගට් ස්වල්පයක් සීනි කැට හැන්දක් සමඟ මිශ්‍ර කර මුහුණේ ගල්වා කවාකාරව අතුල්ලන්න.සීනි වල ඇති කැටිති ස්වභාවය සමේ අඳුරු මලානික මැරුණු සම හොඳින් ඉවත්කරයි.සමට ප්‍රාණවත් නැවුම්බවක් ලබාදේ.

9.කෝමාරිකා

ආයුර්වේදයේ කෝමාරිකා සමට ඉතා හිතකර ප්‍රතිලාභ ‍රැසක් ලබාදෙන දිව්‍යමය ඖෂධයක් බව පෙන්වාදෙනවා. සම සුවපත් කිරීමට, සමට සිසිලස සලසමින් සමට තෙතමනය සැලසීමට මේවාට විශේෂ හැකියාවක් ඇත.කෝමාරිකා සමේ නීරෝගි බවට වැදගත් වන කොලැජන් නිෂ්පාදනය වැඩිකරවයි.සමේ නම්‍යතාව වඩවයි.සම මෘදු හා පැහැපත් කරයි.ලප කැලැල් බිබිලි දුරුකරයි.අලුත් කෝමාරිකා පත්‍රයක් කඩා එහි කැපූ අග පහළට සිටින සේ මිනිත්තුවක් පමණ රඳවා තබන්න. ඉන් එහි ඇති විෂ කිර ඉවතට යයි. පසුව පත්‍රය සෝදා, දෙකට පළා මදය සූරාගන්න. මෙය පිරිසිදු කරගත් මුහුණේ ගල්වන්න.වෙළඳපොලේ කෝමාරිකා ජෙල් වශයෙන් ද මිලදී ගැනීමට තිබේ. කෝමාරිකා වල ඇති ප්‍රතිඔක්සිකාරක ගුණ සම හානිවීම වළක්වමින් ඊට හොඳ ආරක්ෂාවක් සලසයි.

10.පිපිඤ්ඤා

මේවායේ 90%ක්ම ඇත්තේ ජලය නිසා සමට හොඳින් තෙතමනය සලසයි.සිසිලන ගුණ බහුල නිසා සමේ ඉදිමුම් ස්වභාවයන් දුරුකරයි. ඇස යට ඉදිමුම,සමේ ඇති වූ පිලිස්සුම් තුවාල, හානි වූ සමට පිළියම් කරයි.කුරුලෑ මෙන්ම හිරු කිරණින් සම පිලිස්සීමෙන් වූ හානි වලට ද හොඳ ප්‍රතිකාරයකි. සිසිල් කළ පිපිඤ්ඤා පෙති ඇස් යට තබාගෙන සිටීමෙන් ඇස් අවට සමේ විඩාබර බව හා එල්ලාවැ‍ටුණු ස්වභාවය දුරුකරගත හැකියි.පිපිඤ්ඤා යුෂ සමේ ගැල්වීමෙන් සමට හොඳ තෙතමන සත්කාරයක් ලැබේ. ලප කැලැල් මතුපිටට පෙනෙන ස්වභාවය බොහෝ දුරට අඩුකරගත හැකියි.