Lanka Fashion

No 01 Online Fashion Magazine

සමේ නීරෝගී කර පැහැදිලි සමක් හා දීප්තියක් ඇතිකරවන සත්කාර ක්‍රම

ලස්සනට ඉන්න කැමති කවුරුත් හොඳ අභ්‍යන්තරය පෝෂණයක් වගේම බාහිර වශයෙන් ද සමට විවිධ සත්කාර ලබාදෙනවා.අද දවසේ අප ඔබව දැනුවත් කරන්නේ ඔබේ සමේ ඇති ලප කැලැල් දුරු කරමින්, සමට හොඳ පිරිසිදු බවක් හා දීප්තියක් ලබාදෙමින් සම පැහැපත් හා නීරෝගී කරවන අමුද්‍රව්‍ය 2ක් භාවිතයෙන් සකසා ගත හැකි පහසු ස්වභාවික සත්කාර ක්‍රම කිහිපයක් ගැනයි.මේ සියල්ල ස්වභාවික අමුද්‍රව්‍ය නිසා ඔබේ සමට කිසිඳු අතුරුආබාධයක් ඇතිවන්නේ නැහැ.සමේ කුරුලෑ බිබිලි ලප කැලැල් ආදි ගැටලු වලට ප්‍රතිකාර කරයි.සම ‍රැළි වැටීම හා එල්ලාවැටීම පාලනය කරයි.සමේ අනවශ්‍ය රෝම වර්ධනය අවම කරගැනීමට ද සහය වෙයි.සමට දීප්තිමත් බවක් හා ඔපයක් ලබාදෙයි. මේ සත්කාර සතියකට වාර 1ක් හෝ2ක් පමණ කිරීමෙන් ඔබේ මුහුණේ ආකර්ෂණීය වෙනසක් දැකබලාගැනීමට ඔබට හැකිවේවි!

1.මුල්තානි + රෝස වතුර

මුල්තානි මිට්ටි පවුඩර් මේස හැඳි 1ක් විනාකිරි හෝ රෝස වතුර වලින් මේස හැඳි 2ක් දමා මිශ්‍ර කරගන්න. පිරිසිදු කරගත් මුහුණේ මෙම මිශ්‍රණය හොඳින් ආලේප කරගන්න. මිනිත්තු 15ක් පමණ තිබෙන්නට හැර සීතල වතුරෙන් මුහුණ සෝදාගන්න. සම තෙත මාත්තු කර හොඳ මොයිෂ්චරයිසර් නිෂ්පාදනයක් සමට භාවිත කරන්න.මෙම සත්කාරය සමේ ඇති වස විස ද්‍රව්‍ය ඉවතට ඇද සමේ සිදුරු හොඳින් පිරිසිදු කරයි. සමේ ‍රැඳි ඇති කුණු දුහුවිලි, තෙල්,බැක්ටීරියා ආදිය ඉවත්කරයි.සමේ තෙල් ගතිය පාලනය කරයි.රෝස වතුර සමේ අපහසුතා සමනය කරමින් සමේ තෙල් ගතිය අඩුකිරීමට සහය වේ.

2.කෝමාරිකා + කෝපි කුඩු

කෝමාරිකා මද මේස හැඳි 2ක් සහ කෝපි කුඩු මේස හැඳි 1ක් බඳුනක මිශ්‍ර කරගන්න.මුහුණේ ආලේප කර මිනිත්තු 20ක් පමණ තිබෙන්නට හරින්න. පසුව උණුසුම් වතුරෙන් මුහුණ සෝදන්න.පසුව ඔබේ සමට ගැළපෙන හොඳ මොයිෂ්චරයිසර් එකක් භාවිත කරන්න.කෝමාරිකා වල සම පැහැපත් කරවන ගුණාංග බහුලයි. සමට හොඳින් තෙතමනය දී සම ‍රැළි වැටීම පාලනය කරයි.ලප කැලැල් දුරුකරයි.සම සවිමත් කරවයි. කෝපි මඟින් සමේ මැරුණු සෛල හොඳින් ඉවත් කර සම පිරිසිදු කරයි.සමට දීප්තියක් ලබාදෙයි.

3.මී පැණි+ කුරුඳු

මී පැණි මේස හැඳි 1ක් සහ කුරුඳු කුඩු තේ හැඳි 1ක් බඳුනක මිශ්‍ර කරගන්න. පිරිසිදු කරගත් මුහුණේ මෙය ආලේප කරගන්න.බ්ලැක්හෙඩ්ස් බහුලව ඇති නාසය මතුපිට, කම්මුල්, නිකට ආශ්‍රිතව මෙම මිශ්‍රණය තුනී තට්‍ටුවක් ලෙස ආලේප කරගන්න. මිනිත්තු 15ක් පමණ තිබෙන්නට හැර මද උණුසුම් වතුරෙන් මුහුණ සෝදන්න. පසුව අයිස් කැටයක් ගෙන මුහුණ පුරා අතුල්ලමින් තවන්න.මෙම සත්කාරය සමේ බ්ලැක්හෙඩ්ස් වැනි කුරුලෑ ගැටලු හොඳින් ඉවත්කරයි. ඒවා වර්ධනය වීම වළකයි. මේවා ඇතිවන්නේ සමේ විවෘත වී ඇති සිදුරු තුළ කුණු දුහුවිලි බැක්ටීරියා එක්වීමෙන් ඒවා ආසාදනය වූ විටයි.මී පැණි බැක්ටීරියා විනාශ කරමින් සමේ සිදුරු ආසාදනය වීම වළක්වයි. සමට තෙතමනය දී සමේ වියළි බව අඩුකරයි.කුරුඳු වල ප්‍රතිඔක්සිකාරක බහුල නිසා සමට හොඳ ආරක්ෂාවක් සපයයි.සම හානිවීම් වළින් වළකයි.සමේ තෙල් ගතිය පාලනය කරයි.

4.යෝගට් + මී පැණි

යෝගට් මේස හැඳි 2 සහ අමු මී පැණි මේස හැඳි 2ක් එකට මිශ්‍ර කරන්න. මෙය මුහුණේ ආලේප කර මිනිත්තු 20ක් පමණ තබා මද උණුසුම් වතුරෙන් සෝදාහරින්න.හැකිනම් ‍රැයක් පුරා තිබෙන්නට හරින්න.මෙය ඔබේ සමට තෙතමනය දී සමට ආකර්ෂණීය පැහැපත් බවක් ලබාදෙයි. ලැක්ටික් අම්ල සහ ඇල්ෆා හයිඩ්‍රොක්සි අම්ල බහුල සත්කාරයක් නිසා සමේ මැරුණු සෛල හොඳින් දියකර හරිමින් සමෙන් ඉවත් වීම පහසු කරවයි. සමට නීරෝගී දීප්තිමත් බවක් ලබාදෙයි.

5.බිත්තර සුදුමද + යෝගට්

බිත්තර සුදුමද එකක් බඳුනකට එක්කරගන්න. මෙයට යෝගට් මේස හැඳි 1ක් දමා හොඳින් කළවම් කරගන්න.කැමතිනම් ලෙමන් බිංදු කිහිපයක් එක්කරගන්න.මෙම මිශ්‍රණය පිරිසිදු කරගත් මුහුණ පුරා තුනී තට්‍ටුවක් ලෙස ආලේප කරගන්න. හොඳින් වියළෙන්නට තබා සාමාන්‍ය වතුරෙන් මුහුණ සෝදා පිරිසිදු කරගන්න.මෙම සත්කාරය සම වියපත් වීම පාලනය කරගැනීමට සහය වේ. සම ‍රැළි වැටීම, ඉරි තැලීම හා එල්ලා වැටීම අවම කරවයි.සම වියළීම ද පාලනය කරයි.බිත්තර සුදුමද සමට හොඳ පෝෂණයක් ලබාදෙයි.යෝගට් වල ඇති ලැක්ටික් අම්ල සම පැහැපත් හා දීප්තිමත් වීමට උපකාරී වේ.

6.අමු මී පැණි + වියළි කහ

අමු මී පැණි මේස හැඳි 2ක් සහ වියළි කහ තේ හැඳි 1/2ක් බඳුනක මිශ්‍ර කරන්න.පිරිසිදු කරගත් මුහුණ මත තුනී තට්‍ටුවක් ලෙස මෙය ආලේප කරගන්න.මිනිත්තු 10-15ක් පමණ තබා ,සාමාන්‍ය වතුරෙන් සෝදාහරින්න.මෙම සත්කාරය බැක්ටීරියානාශක ගුණයෙන් හා සම සුවපත් කිරීමේ ගුණයෙන් යුක්ත නිසා තෙල් සහිත හා කුරුලෑ බහුල සමකට ඉතා හොඳ ප්‍රතිකාරයකි.

7.කෝමාරිකා + ටී ට්‍රී තෙල්

කෝමාරිකා මද හෝ ජෙල් මේස හැඳි 2ක් සහ ටී ට්‍රී තෙල් බිංදු 2-4ක් පමණ දමා හොඳින් කළවම් කරන්න.මෙය මුහුණ සේදීමෙන් පසු තුනී තට්‍ටුවක් සේ මුහුණේ ආලේප කර නින්දට යන්න.පසුදා උදෑසන මුහුණ සෝදා පිරිසිදු කරගන්න. මෙය කුරුලෑ වර්ධනය වීම වළකන අතර සමට හොඳ පැහැදිලි බවක් ලබාදෙයි.මෙම සත්කාරය සමේ කුරුලෑ බිබිලි වලට හොඳ පිළියමකි.ප්‍රතිප්‍රදාහක ගුණ හා විෂබීජනාශක ගුණ බහුල අමුද්‍රව්‍ය අඩංගු නිසා සමේ රතුගතිය,ඉදිමුම,දැවිල්ල හා ප්‍රදාහය හොඳින් සමනය කරයි.සමට සිසිලස ලබාදී වියළීම පාලනය කරයි.

8.ජොජෝබා තෙල් + කහ කුඩු

ජොජෝබා තෙල් මේස හැඳි 2ක් සහ කහ කුඩු තේ හැඳි 1ක් බඳුනක මිශ්‍ර කරගන්න. මෙය පිරිසිදු කරගත් මුහුණේ ආලේප කර ඇඟිලි තුඬු වලින් මිනිත්තු 2ක් පමණ හොඳින් සම්බාහනය කරන්න.පසුව, මිනිත්තු 15ක් පමණ වියළෙන්නට හරින්න. තුවායක් උණුසුම් වතුරේ පොඟවා,ඉන් මුහුණ පිසදමා පිරිසිදු කරගන්න.මෙම අමුද්‍රව්‍ය මඟින් සමට හොඳ නීරෝගී බවක් ලබාදෙයි.සමේ මියගිය සෛල ඉවත් කරමින් නව සෛළ වර්ධනය වීමට ඉඩ සලසයි. සම අලුත්වැඩියාවට ලක්කරයි.සමේ අඳුරු බව ඉවත්කර පැහැදිලි හා පැහැපත් සමක් ලබාදෙයි.සමට දීප්තියක් එක්වෙයි.

9.පොල් කිරි + තක්කාලි පෙති

පොල් කිරි කෝප්ප 1/4ක් බඳුනකට දමන්න. එයට සිහින්ව කපාගත් තක්කාලි පෙති කිහිපයක් එක්කරන්න.කිරි වල පොඟවාවත් තක්කාලි පෙති එක බැගින් ගෙන මුහුණේ අතුල්ලන්න. මෙසේ කළ පසු මිනිත්තු 30ක් පමණ ඒවා සම මත තබාගෙන ඉන්න.පසුව උණුසුම් වතුරෙන් සම සෝදන්න.තක්කාලි වල ඇති එන්සයිම සමේ අඳුරු කැලැල් දුරුලමින් සමේ අවපැහැය දුරුකරයි. පොල් කිරි සමට ස්වභාවික දීප්තියක් ගෙනදෙයි.

10.ඇක්ටිවේටඩ් චාකෝල්+ කෝමාරිකා මිශ්‍ර වතුර

ඇක්ටිවේටඩ් චාකෝන් (සක්‍රීය අඟුරු) මේස හැඳි 2ක් කෝමාරිකා මිශ්‍ර වතුර මේස හැඳි 2ක් සමඟ මිශ්‍ර කරන්න. මෙය පිරිසිදු කරගත් මුහුණේ ආලේප කර මිනිත්තු 15ක් පමණ වියළෙන්නට හරින්න.පසුව සාමාන්‍ය වතුරෙන් මුහුණ සෝදන්න.මෙම සත්කාරය මුහුණේ සිදුරු පිරිසිදු කරයි. බ්ලැක්හෙඩ්ස් වැනි ගැටලු දුරුකරයි. සමේ අවපැහැය අඩුකරවයි.සමට ක්ෂණීක දීප්තියක් ලබාදෙයි. කෝමාරිකා මඟින් සමට හොඳ තෙතමනයක් ලැබේ.