Lanka Fashion

No 01 Online Fashion Magazine

හිරු එළියට පිලිස්සීමෙන් සමේ ඇතිවන අඳුරු ලප කැලැල් දුරුකරගැනීමට ස්වභාවික පිළියම්

අධික අව් රශ්මියක් වැටෙන කාලයට එලිමහනට යන්නට බැරි තරම් අධික උණුසුමක් සිරුරට දැනෙනවා. ඒ විතරක් නොවෙයි, අධික වෙලාවක් එලිමහනේ ගත කරන විට හිරු එළියේ ප්‍රබල බවට සම පිලිස්සීම පවා සිදුවෙයි.සම පිලිස්සීමෙන් සම රතුවීම, කැසීම,පලු දැමීම වැනි අපහසුතා ඇතැම් අයට ඇතිවෙන්නට පුළුවන්.හිරු එළියේ වඩාත් වැඩිම බලපෑම තමයි සම පිලිස්සීමෙන් ඇතිවන ලප කැලැල් (sub burns). මුහුණ, ගෙළ, අත් සහ කකුල් වල මෙම ලක්ෂණය බහුලව දැකිය හැකියි. සමේ ස්වභාවික පැහැයට වඩා තැන තැන අඳුරු කැලැල් ලෙස වර්ධනය වී ඇති ආකාරයක් ඔබේ සමේ දැකිය හැකි ද? මේ තත්වය දුරුකරගැනීමට ඔබට සහය වෙන හොඳම ස්වභාවික ප්‍රතිකාර ක්‍රම කිහිපයක් ගැනයි අද අප ඔබට කියාදෙන්නේ. සතියකට දෙතුන් වරක් මාසයක් පමණ මේ ක්‍රම අනුගමනය කිරීමෙන් ඔබට හොඳ වෙනසක් සමේ නිරීක්ෂණය කළ හැකිවේවි!

1.පිපිඤ්ඤා යුෂ

පිපිඤ්ඤා යුෂ වල සම සමනය කරන හා සිසිලන ගුණ බහුලයි.විටමින් C බහුල නිසා සමේ සෛල සුවපත් කරමින් සමේ තෙතමනය ආරක්ෂා කරයි.සම හිරු එළියට පිලිස්සී ඇති තැන් වල අවපැහැය හොඳින් අඩුකරවයි.පිපිඤ්ඤා පෙති කිහිපයක් බ්ලෙන්ඩර් කර යුෂ ලබාගන්න. මෙම යුෂ අව්වට පිලිස්සී ඇති තැන් වල සමේ ගල්වන්න. මිනිත්තු 20කට පමණ පසු උණුසුම් වතුරෙන් සම සෝදන්න.

2.පොල් කිරි

පොල් කිරි සම හොඳින් පෝෂණය කරයි. සමට හොඳ තෙතමනයක් ලබාදේ.සමේ වියළි බව දුරුකරයි.විටමින් C හා මෘදු අම්ල වර්ග බහුල නිසා සමේ අඳුරුබව හා අව්වට පිලිස්සීමෙන් ඇති වූ කැලැල් සමෙන් ඉවත් කිරීමට හොඳින් සහය දේ.
කපු පුළුන් කැබැල්ලක් පොල් කිරි වල පොඟවා ,සමේ අඳුරු වී ඇති තැන් වල හොඳින් ආලේප කරන්න.හොඳින් වියළෙන තුරු තබා උණුසුම් වතුරෙන් සෝදාහරින්න.

3.කඩල පිටි+කහ+එළකිරි

කහ වලට සම දීප්තිමත් හා පැහැපත් කරවීමේ හැකියාව තිබේ.කහ වල බැක්ටීරියානාශක ගුණාංග බහුල නිසා සම ආසාදන වලින් ආරක්ෂා කරයි.කඩල පිටි සමේ අඳුරු බව දුරලයි. සම ඇතුළතින්ම පැහැපත් වීමට සහය දේ.මැරුණු සම ඉවත්කර සම ගැඹුරින් පිරිසිදු කරයි.ඉන් සමේ අඳුරු කැලැල් ඉවත්වීම පහසුකරවයි.එළකිරි වල ඇති ලැක්ටික් අම්ල හා අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ සමේ නීරෝගී බව වැඩිකරවයි.කඩල පිටි මේස හැඳි 1ක්, වියළි කහ ස්වල්පයක් (ඇඟිලි තුඬු දෙකට ‍රැ‍ඳෙන ප්‍රමාණය ප්‍රමාණවත්) සහ එළකිරි මේස හැඳි 2ක් පමණ දමා හොඳින් කළවම් කරන්න.සමේ අඳුරු තැන් වල මෙය ආලේප කරගන්න. හොඳින් වේළෙන තුරු තබා, ඇඟිලි තුඬු වතුරෙන් තෙත් කරගෙන මෘදුව හා කවාකාරව අතුල්ලන්න.උණුසුම් වතුරෙන් සෝදාහරින්න.

4.ලෙමන් යුෂ+ මී පැණි+ සීනි

ලෙමන් යුෂ වල ඇති සිට්‍රික් අම්ල සමේ අවපැහැය දුරුකරයි. හිරු එළියට පිලිස්සීමෙන් ඇති වූ කැලැලේ අඳුරු බව අඩුකරයි.සමට නැවුම් හා ප්‍රාණවත් බවක් ලබාදේ. මී පැණි සමට තෙතමනය දී සම සුවපත් කරයි.සීනි කැටිති ස්වභාවයක් ගන්නා නිසා සමේ මැරුණු සෛල හොඳින් ඉවත් කර සම පිරිසිදු කිරීමට සහය දේ.ලෙමන් යුෂ තේ හැඳි 1ක් සහ මී පැණි තේ හැඳි 1ක් බඳුනකට දමා කළවම් කරන්න. සීනි කැට ස්වල්පයක් දමා මිශ්‍ර කරගත් පසු පිරිසිදු කරගත් මුහුණේ හෝ අඳුරු වී ඇති අත් හෝ කකුල් වල සමේ ආලේප කරන්න. ඇඟිලි තුඬු වලින් මෘදුව සම අතුල්ලන්න.මද වෙලාවක් සමේ වියළෙන්නට හරින්න.පසුව උණුසුම් වතුරෙන් සම පිරිසිදු කරගන්න.

සමේ නීරෝගී බව ‍රැකගැනීමට උපකාරී වන උපදෙස්

•ඇතැම් යෝගා අභ්‍යාස ඔබේ සමේ සුන්දරත්වය හා නීරෝගීකම ආරක්ෂා වීමට හොඳ සහයක් ලබාදේ. උෂ්ත්‍රාසනය,හලාසනය,සර්වාංගාසනය,ප්‍රනයාම් වැනි ක්‍රම ඊට උදාහරණයි. උදා: ප්‍රනායම් යටතේ එන සීට්ලි ප්‍රනයාම් ක්‍රමයේදී භාවනා ඉරියව්වෙන් වාඩි වෙන්න. ඔබේ කොන්ද කෙළින් තබාගන්න.අත් දෙක දෙපසට නවාගත් කකුල් වල දණහිස මත රඳවාගන්න. දිව බටයක් ආකාරයෙන් රෝල් කරගන්න(තොල් ඉලිප්පෙන සේ). මෙම ඉරියව්වෙන් සිටිමින් කටින් හුස්ම ගන්න. මෙය සිරුර සිසිල් හා සැහැල්ලු කරවයි.
•මුහුණ හොඳින් ස්ටීම් කරන්න. මින් සම ගැඹුරින් පිරිසිදු වීම, මැරුණු සම ඉවත් වීම පහසු කිරීම, සමට හොඳ දීප්තියක් ලබාදීම ආදී බොහෝ ප්‍රතිලාභ සමට ලැබේ. නිතර සම පිරිසිදුව තබාගන්න.
•අහිතකර හිරු කිරණින් සම ආරක්ෂා කරගැනීමට ඉහළ SPF (15-25 හෝ ඊට වැඩි) අගයක් ඇති හොඳ සන්ක්‍රීම් වර්ගයක් භාවිත කරන්න.එලිමහනේ ‍රැ‍ඳෙන කාලය වැඩියි නම් SPF 50 පමණ අගයක් හෝ ඊට වැඩි සන්ක්‍රීම් එකක් භාවිත කරන්න.සම සෘජුව හිරු එළියට නිරාවරණය වීම වළක්වාගන්න. එලිමහනට යන විට කුඩයක්,තොප්පියක් හෝ ස්කාෆ් එකක් භාවිත කරන්න. අත් හා කකුල් දිග ඇඳුම් විලාසිතා ‍තෝරාගැනීමෙන් සමට ආරක්ෂාවක් සලසාගත හැකියි.
•උණු නොකර එළකිරි ස්වල්පයක් ලෙමන් යුෂ සමඟ මිශ්‍ර කර අත් කකුල් වල ගැල්වීම ස්වභාවික සන්ක්‍රීම් එකක් ලෙස ක්‍රියාකරයි.