Lanka Fashion

No 01 Online Fashion Magazine

“සැමියෙක් විදිහට එයා සාර්ථකයි.එයා වගේ කෙනෙක් ලැබෙන්න ඇත්තටම මං හරි වාසනාවන්තයි.” දසුන් ශානකගේ ආදරණීය බිරිඳ

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති තුන්වෙනි විස්සයි විස්ස තරඟය කලකට අමතක නොවෙන විදියේ තරඟයකි. ශ්‍රී ලංකා කණ්ඩායම එදා ලබාගත් ජයග්‍රහණයේ නියමුවා නායක දසුන් ශානකය. පන්දු 25 කදී වේගවත් ලකුණු 54 ක් නොදැවී ලබාගනිමින් ඔහු කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේ ජයග්‍රහණයක සේයාවක් හෝ නොතිබූ මොහොතකය.ඉතින් ඒ පිළිබඳව දසුන් ශානකගේ ආදරණීය බිරිඳ වන චෙවන්ති පෙරේරා සතුටින් මෙසේ ප්‍රකාශ කර තිබුණා.“මට ඔහු ගැන ලොකු සතුටක් වගේම ලොකු ආඩම්බරයක් දැනෙනවා. එදා එයා හොඳටම සෙල්ලම් කළා. මට විතරක් නෙවෙයි මුළු ලංකාවටම එදා එයා ක්‍රිකට් වීරයෙක් වුණා. වාසනාවකට වගේ මං එදා පල්ලෙකැලේ ගියා. ඉතින් දසුන්ගේ ඉනිම ඇස් දෙකෙන්ම දැකගන්න මට පුළුවන් වුණා. ඒක ගැන මට හරිම සතුටුයි. ඒ අවස්ථාව මට මගඇරුණා නම් ගොඩාක් දුක හිතෙන්න තිබුණා. නිකමට මට හිතුණා තරඟය පැරදුණත් එයා ජයග්‍රහණය පේනමානෙට හරි අරගෙන එයි කියලා. එදා එයා එකසැරයක් අවුට් වෙන්න ගියා. ඒත් වාසනාවකට බේරුණා. එතකොටනම් මට හිතුණා අද තමයි දසුන්ගේ දවස කියලා. අන්තිමේ එයා අපි හැමෝටම කාලෙකට අමතක නොවෙන සප්‍රයිස් එකක් දුන්නා.”“දසුන්ට වඩා පීඩනයකින් තමයි මං හිටියේ. එයාට එන බෝලයක් ගානේ මගේ හිත ගැස්සුණා. ඒ බෝලයක් ගානේ දසුන් මොන වගේ පහරකට යයිද කියලා හිතුණා. ඇත්තටම එදා මගේ හිතේ තිබුණු ඒ හැඟීම මට කියන්න තේරෙන්නේ නෑ. හිතේ පොඩි තිගැස්මක් තිබුණේ නෑ කිව්වොත් ඒක බොරුවක්. මොකද මෙච්චර හොඳට බැට් කරගෙන ඇවිත් වැරදි පහරකට ගියොත් ඔක්කොම ඉවරයිනේ. හැබැයි අන්තිම බෝල් දෙක තුනට එනකොට දසුන් කොහොම හරි තරඟය ඉවර කරනවා කියලා දැනගෙන හිටියා.”

තරඟය ඉවර වුනාට පස්සේ දසුන් එවපු කෙටි පණිවුඩය ගැනත් මේ විදිහට පැවසුවා.“තරඟය ඉවරවෙලා එයා මට මැසේජ් එකක් එවලා තිබුණා. ‘ඔයා මොකද හිතන්නේ මං කරපු දේ ගැන?’ කියලා. මං කිව්වා ‘මට ගොඩාක් සතුටුයි’ කියලා. ඒත් මට හිතුණා එයා ඉන්න හොටෙල් එකට ගිහින් එයාගේ මූණ බලන්න. පස්සේ මං ඒ වෙලාවෙම එයාව බලන්න ගියා. ඒ වගේ සතුටක් මං කවදාවත්ම දසුන්ගේ මූණෙන් දැකලා නෑ. පුදුම සතුටකින් එදා එයා හිටියේ. මං ගියපු එකටත් එයාට ගොඩාක් සතුටුයි. එදා තරඟය වෙලාවේ පිටිය මැද දසුන් හිටියේ මොන වගේ පීඩනේකද කියලත් ඔහු ඔබට කියන්න ඇති? ඇත්තටම එහෙම දෙයක් කිව්වේ නෑ. එදා අපි කතා කළේ දිනපු එක ගැන විතරයි.”තරඟයේ ජයග්‍රහණයත් එක්ක දසුන් තරුණියන්ගේ දැඩි ආකර්ශනයට ලක්වුණා. ඉතින් ඒ ගැනත් ඇය මේ විදිහට පැවසුවා.“අවංකව මට ඊර්ෂ්‍යාවක්නම් දැනුණේ නෑ. පුංචි ආඩම්බරයක් දැනුණා මගේ මහත්තයා ගැනනේ මේ හැමෝම කතා කරන්නේ කියලා. මැච් එක ඉවරවෙලා එයා ප්‍රේක්ෂකයින්ට ආචාර කරද්දි, අත් අල්ලද්දි, සෙල්ෆි ගහද්දි බිරිඳ විදිහට මං ඒ දිහා බලාගෙන ගොඩාක් සතුටු වුණා. එයාට එහෙම ආකර්ශණයක් ලැබෙන එක ගැන මට සතුටුයි.”

කොහොම වුනත් සැමියෙක් විදිහට ඔහු ගැන ඔහුගේ බිරිඳ මේ විදිහට පැවසුවා.“ක්‍රීඩකයෙක් විදිහට නිවුණු චරිතයක් වුණාට ගෙදරදි නම් ටිකක් විතර සැරයි. මොකද ක්‍රීඩකයෙක් විදිහට එයා කරන්නේ එක භූමිකාවක්. ඒත් ගෙදරදි සැමියා විදිහට කරන්නේ තව භූමිකාවක්. ඒ භූමිකාව ඇතුළේ දසුන් පොඩ්ඩක් විතර සැරයි. හැබැයි ගොඩාක් හොඳයි. සමහර වෙලාවට ලොකු පාළුවක් දැනෙනවා. ඒත් එයා රට වෙනුවෙන් නේද සෙල්ලම් කරන්නේ කියලා හිතුණම ඒ පාළුව නැතිවෙලා අහිංසක ආඩම්බරයක් හිතට එනවා. ගෙදර ඉන්න දවස්වලට එයාට ගොඩාක් වෙලාවට උදේ හවස පුහුණුවීම් තියෙනවා. ඒ අතර නිවාඩුවක් ලැබුණොත් අපි එළියට යනවා. ගෙදරම හිටියොත් පරණ මැච් එහෙම බලනවා. සැමියෙක් විදිහට එයා සාර්ථකයි. දෙයක් කරන්න මගඇරුණොත් පස්සේ මතක් වුණාම හරි “අයියෝ මං මේක කළේ නෑනේ” කියලා ඒ වෙලාවේ හරි ඒක කරනවා. එයා වගේ කෙනෙක් ලැබෙන්න ඇත්තටම මං හරි වාසනාවන්තයි. දසුන් ගොඩාක් අයට උදව් කරනවා. යාළුවෙක් දෙයක් ඉල්ලුවත් දෙපාරක් හිතන්නේ නැතුව දෙනවා. එහෙම දීලා එයා ආපහු දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ. අනික තමයි එයා ගොඩාක් ආගම දහමට ලැදියි.”